January 30, 2026

ආන්දෝලනාත්මක ගල් අඟුරු ටෙන්ඩරයේ ගැටලුව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.

ඔහු පෙන්වා දුන්නේ ගල් අඟුරු ආනයනය කළ යුතු වන්නේ වන්දි ලබා ගැනීම සඳහා නොවන බවයි.

ගල් අඟුරු ගනුදෙනු සිදු කළ යුත්තේ නියමිත මිල හා පවතින ප්‍රමිතිය පිළිබඳ සැලකිලිමත්වීමෙන් අනතුරුව බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

ගල් අඟුරු ආනයනයේදී අදාළ රටින් අපනයනය කිරීමේදී සහතිකයක් නිකුත් කරන බව සහ මෙරටට ආනයනය කර නොරොච්චෝලේහිදී ද එහි ප්‍රමිතිය පරීක්ෂා කිරීමක් සිදු කරන බව ද මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේවෙතත් ප්‍රශ්නගත ගල් අඟුරු තොගය ප්‍රමිතියෙන් තොර බව අනාවරණ වී ඇති බැවින් පැන නැගී ඇති බරපතල ගැටලුව පිළිබඳ රජය පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම මන්ත්‍රීවරයා පැවසුවේ ‍රටතුළ වර්තමානයේ පවතින ගල් අඟුරු තොගය පෙබරවාරි හෝ මාර්තු මාසය දක්වා පමණක් ප්‍රමාණවත් බැවින් යළි ගෙන්වා ගැනීමේදී ප්‍රමාදයක් සිදුවුවහොත් එය තවත් බරපතල ගැටලුවක් විය හැකි බවයි.