January 28, 2026

ව්‍යාජ රන් භාණ්ඩ සැබෑ රන් ලෙස තමා සේවය කළ බැංකුවේම උකස් කළ බවට වන චෝදනා යටතේ රාජ්‍ය බැංකු කළමනාකරුවකු පෙබරවාරි 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඔහුට එරෙහිව රුපියල් මිලියන 163 ඉක්මවන වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ ඉල්ලීමකට අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහආරච්චි මෙම නියෝගය නිකුත් කළේය.

සැකකරු වසර දෙකක් තුළ අවස්ථා 26කදී වංචාව සිදුකිරීමෙන් පොදු දේපළ පනත යටතේ වැරදි සිදුකර ඇති බව අධිකරණයට දන්වන ලදී.

කොළඹ රාජ්‍ය බැංකුවක කළමනාකරුවකු වන ඉන්දික නිශාන්ත අධිකාරි ලෙස හඳුනාගෙන ඇති සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර පරීක්ෂණ සඳහා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.