January 15, 2026

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීමේදී රජය ඒ සම්බන්ධයෙන් දැනුවත්භාවයකින් යුතුව කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ දිට්වා සුළිකුණාටුවෙන් සිදුවූ හානිය හමුවේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ හයවැනි වාරිකය ඉල්ලා සිටීමට ශ්‍රී ලංකාව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹ ඇත්තේ ගිවිසුමකට බවත්, ඒ සඳහා සොභාවධර්මයේ බලපෑම් හෝ වෙනත් කිසිඳු බාහිර බලපෑමක් අදාළ නොවන බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

ඔහු පෙන්වා දුන්නේ මෙම අවස්ථාවේ සිදු කළ යුතු වන්නේ මුදල් ගලා එන ක්‍රම සොයා ගැනීම බවයි.

අනවශ්‍ය වියදම් කපා හැරීම මුදල් ඉතිරි කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය බැවින් රටම ව්‍යවසනයකට පත්ව ඇති අවස්ථාවක මන්ත්‍රීවරුන්ගේ රක්ෂණය පවා කපා හැරීම සිදු කළ යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

ආහාරවේලක් සොයා ගැනීමට නොහැකි ජනතාවක් සිටින අවස්ථාවක මන්ත්‍රීවරුන්ට කිසිසේත් රක්ෂණයක් අවශ්‍ය නොවන බව ද ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම මන්ත්‍රීවරුන්ට අලුත් වාහන සහ නිල නිවාස අවශ්‍ය නොවන්නේ නම් රක්ෂණයකින් කිසිසේත් ඵලක් නොවන බව ද ඔහු පැවසුවේය.