January 18, 2026

අන්තර්ජාතික මට්ටටමේ අන්තර් රාජ්‍ය ආයතනයක් වන මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් නිර්දේශ කරන ලද අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට එරෙහිව සටන් කිරීම සඳහා සහයෝගීතාව සහ සම්බන්ධීකරණය වෙනුවෙන් අන්තර් ආයතන රාමු ශක්තිමත් කිරීමට මහ බැංකුව කටයුතු කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශකර තිබේ.

රාජ්‍ය ආයතන සහ මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ද මෙම පියවර අතර වේ.

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට එරෙහිව සටන් කිරීම සඳහා මහ බැංකුව සමඟ කටයුතු කරන ප්‍රධාන රාජ්‍ය ආයතන අතරට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, සියලුම බැංකු සහ මූල්‍ය ආයතන, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම, ශ්‍රී ලංකා රේගුව, ආනයන හා අපනයන පාලකවරයා, සමාගම් ලේඛනය, ආගමන හා විගමන පාලක දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකාවේ සූදු අධිකාරිය ඇතුළත් වේ.

මුදල් විශුද්ධිකරණයට අදාළ ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීම සඳහා විධිමත් විධිවිධාන නොමැත.

මෙම පරතරය දේශසීමා හරහා නීති විරෝධී මුදල් චලනයන් හඳුනාගැනීමේ උත්සාහයන්ට බාධාවක් වී ඇත.

නොවැම්බර් මාසය වන විට අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම අවසන් වීමට නියමිතය.

ඉන්පසුව ශ්‍රී ලංකාවට අන්තර්ජාතික මට්ටමින් මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදී මූල්‍යකරණය සහ ඒ ආශ්‍රිත අපරාධ විමර්ශනය කිරීම සඳහා පැරිසිය පදනම් කරගත් මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය වෙතින් සහාය ලබාගත හැකිය.

“බදු ගෙවන අවස්ථාවන්හිදී පවා මුදල් විශුද්ධිකරණයේ නියැලී සිටින බවට සැකකරන ආයතන පිළිබඳ වඩාත් සමීප පරීක්ෂාවක් සිදු කරනවා. අන්තර් ආයතනික අවබෝධතා ගිවිසුම් අත්සන් කළ පසු සැක සහිත ආයතනවලට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව ද විමර්ශනය කෙරෙනවා,” යනුවෙන් නිලධාරීන් පවසා තිබේ.

කළු මුදල් විශුද්ධිකරණය සඳහා භාවිත කරන ලාභ නොලබන සංවිධාන, කැසිනෝ, අක්වෙරළ ගිණුම් සහ දේපළ වෙළඳාම් සංවර්ධකයන් ද විමර්ශන මගින් ආවරණය කෙරේ.

මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදී මූල්‍යකරණය සහ ව්‍යාප්තිය සඳහා මුදල් සැපයීම සහ අන්තර්ජාතික මූල්‍ය පද්ධතියේ අඛණ්ඩතාවට ඇති අනෙකුත් තර්ජන මැඩපැවැත්වීම සඳහා මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකායේ ප්‍රමිතීන් සකසා නීතිමය, නියාමන සහ මෙහෙයුම් පියවර ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කරයි.

මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකායේ නිර්දේශ මගින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට මෙන්ම විනාශකාරී අවි ව්‍යාප්තියට මුදල් සැපයීමට එරෙහිව රටවල් ක්‍රියාත්මක කළ යුතු පියවර පිළිබඳ පුළුල් හා ස්ථාවර රාමුවක් දක්වා ඇත.