December 17, 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ නව ගෘහස්ථ පුහුණු සංකීර්ණය පසුගිය සඳුදා විවෘත කෙරිණි.

අති නවීන, කඩුලු හතකින් යුත් ගෘහස්ථ සංකීර්ණය ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකර තිබේ.

දඟ පන්දු යැවීම සඳහා වෙන් වූ කඩුලු දෙකක්, වේග පන්දු යැවීම සඳහා කඩුලු දෙකක් සහ සාමාන්‍ය කාර්ය කඩුලු තුනක් මෙම සංකීර්ණයට ඇතුළත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

විවිධ දේශගුණික තත්ත්වයන් යටතේ අඛණ්ඩව පුහුණු වීම සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙම මධ්‍යස්ථානය ජාතික පිරිමි සහ කාන්තා කණ්ඩායම්, ‘A’ කණ්ඩායම් සහ නැගී එන කණ්ඩායම් මෙන්ම 19, 17 සහ 15 න් පහළ ජාතික සංචිත නියෝජනය කරන ක්‍රීඩකයන්ට පහසුකම් සළසනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාගේ ආරාධනයෙන් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්නගේ ද සහභාගීත්වය ඇතිව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් මෙම සංකීර්ණය නිල වශයෙන් විවෘත කරන ලදී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු නිලධාරීන් සහ සාමාජිකයන් ද උත්සවයට සහභාගී වූ අතර, ජාතික පිරිමි සහ කාන්තා ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද මෙම අවස්ථාවට සහභාගී වී තිබිණි.

ගෘහස්ථ පුහුණු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු මධ්‍යස්ථානය ශක්තිමත් කිරීමේ තවත් වැදගත් සන්ධිස්ථානයක් නියෝජනය කරයි.

කොළඹ ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිහිටා ඇති ජාතික ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් ක්‍රීඩා පිටියක්, එළිමහන් පුහුණු පහසුකම්, ව්‍යායාම ශාලාවක්, අති නවීන මංතීරු අටකින් යුත් පිහිනුම් තටාකයක්, උසස් තරග විශ්ලේෂණය සඳහා මධ්‍යස්ථානයක් සහ භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන ඒකකයක් ඇතුළු තවත් අත්‍යවශ්‍ය ආධාරක ව්‍යුහයන් කිහිපයක් ඇතුළත් වේ.

ලබන වසරේ ශ්‍රී ලංකාව අන්තර්ජාතික තරග රැසක් සඳහා සූදානම් වන බැවින්, මෙම මධ්‍යස්ථානය විවෘත කිරීම තීරණාත්මක වේ.

ජනවාරි මාසයේදී පාකිස්ථානය සහ එංගලන්තයේ සංචාරයක් ද ශ්‍රී ලංකා ක්‍රිකට් දින දර්ශනයට ඇතුළත් වන අතර, ඉන්පසු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය දරන ICC පිරිමි T20I ලෝක කුසලානය ද ඇතුළත් වේ.