
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අයහපත් කාලගුණික තත්වයන් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක පසුගිය නොවැම්බර් 12 වැනිදා පෞද්ගලික රුපවාහිනී නාලිකාවකදී පළකළ අදහස් හේතුවෙන් මේ වන විට රටේ බරපතල ලෙස දුර්මත ගණනාවක් ව්‍යාප්ත වෙමින් පවතින අතර, එම දුර්මත පදනම් කරගනිමින් විපක්ෂය රජයට අභියෝග කරමින් සිටී. මෙම තත්වය හමුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක ‘දිනමිණ’ පුවත්පතට මෙසේ සම්මුඛ සාකච්ඡාවක් ලබාදී ඇත.
මෙරට මෙකල සාමාන්‍ය කාලගුණික තත්ත්වයෙන්ම කතාබහ අරඹමු?
ඔක්තෝබර් සිට නොවැම්බර්, දෙසැම්බර් දක්වාම සාමාන්‍යයෙන් පවතින්නේ වාර්ෂිකව දිවයින අවට අඩු පීඩන කලාප, සුළඟේ කැලඹිලි ස්වභාවයන් වර්ධනය වන කාලයක්. අන්තර් මෝසම් කාලගුණ තත්ත්වයන් මෙකල බහුලයි. උදෑසන පෑවිල්ලත් සවස් වන විට ගිගුරුම් සහිත වැසි ඇති වීමත් සාමාන්‍යයෙන් මෙකල දක්නට ලැබෙනවා. ඒක එහෙම වුණත් බෙංගාල බොක්ක, අරාබි මුහුද ප්‍රදේශයන්හි ඇතිවන අඩු පීඩන තත්ත්වයන් අනුව එහි වෙනස්කම් වන අවස්ථා තිබෙනවා.
එහිදී අප ආයතනය දත්ත ගන්නා ක්‍රම හුඟක් තිබෙනවා. අපි කරන්නේ පුරෝකථනය කිරීමක්. සෙසු ඉදිරි කටයුතු සඳහා වෙන වෙනම අංශ පිහිටුවා තිබෙනවා. ඒ අනුව අපි ආපදා කළමනාකරණ අංශයටයි අපේ පෙර දැනුම්දීම යවන්නේ. ඒ හරහා අදාළ අනෙක් අංශවලටත් දැනුම්වත්වීම් කරනවා. ඒ, වාරිමාර්ග, ධීවර අමාත්‍යාංශ ආදියටයි. ඒ හැරෙන්නට කෙළින්ම ධීවර හා නාවික කටයුතුවලදී කාලගුණයේ බලපෑම පිළිබඳ ජනමාධ්‍ය හරහා දැනුම්දීම් කරනවා. ඒ අනුව ඉකුත් ව්‍යසනයේදීත් ධීවරයන්ගේ මරණ වාර්තා වුණේ නැහැ.
ඔබ දෙපාර්තමේන්තුව කාලගුණ වාර්තා නිකුත් කෙරෙන ක්‍රමවේදය ගැනත් කියමුද?
දිනපතා උදෑසන, දහවල සහ සවස් කාලයේදී ඉදිරි කාලගුණික තත්ත්වයන් පිළිබඳ පෙර දැනුම්වත්වීම් කරනවා. යම් හෙයකින් අනතුරුදායක අවස්ථාවලදී විශේෂයෙන් ඒ පිළිබඳ දැනුම්වත් කිරීම් ජනමාධ්‍ය මඟින් කෙරෙනවා.
ඒ වෙනුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙනමම අනාවැකිකරණ අංශයක් තිබෙනවා. එය අධ්යක්ෂවරයකු, නියෝජ්‍ය අධ්යක්ෂවරයකු ඇතුළු කාර්යමණ්ඩලයකින් සැදුම් ලද්දක්. තරුණ දක්ෂ කණ්ඩායමක් එහි වෙනවා. එතැනට මා දිනපතා උදෑසනින්ම ගොස් එහි දත්ත ආදිය කෙරෙහි සොයා බලනවා. එයටම මාගේ පෙර අත්දැකීම් ආදියත් ගළපා ගැනීමෙන් පුරෝකථන කරන්නේ.
ඉකුත් කාලයේදී ඔබ මාධ්‍යයට කළ අනාවැකි පළකිරීමක් සමාජයේ වැඩි කතාබහකට ලක්වුණා?
මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කළ කාලයේදීමයි මේ ක්ෂේත්රයට, ආසාවෙන්ම ආවේ. මේ විෂයය පිළිබඳ මම පරතෙරට දන්නවා. අනෙක, මේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වූ පමණින් මා පරිපාලන කටයුතු කිරීම හැරෙන්නට මාගේ දැනුමෙන් අත්දැකීම්වලිනුත් මෙතැනට දායකත්වය දෙනවා.
මමත් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙනයි මෙතැනට ආවේ. ඒ අනුව ජනමාධ්‍ය සාකච්ඡාවන්ට ගිය විටදීත් මාගේ විෂයයට අදාළව දැනුම, අවබෝධය මුල් කරගෙන පුරෝකථනයන් කළ හැකියි. කතාබහට ලක්වුණු ඔය කියන අනාවැකියත් එහෙම එකක්. අනෙක, ඒක වැරදුණේත් නැහැ.
කාලගුණ අනාවැකි විවේචනයට ලක්වන අවස්ථා අපට දක්නට ලැබෙනවා?
එහෙම තත්ත්වයක් තියෙනවා. ඒක වෙනස් කරන්නටයි අපි උත්සාහ දරන්නේ. ඒත් ඒක හරියට, කාලගුණ වාර්තාවලින් කියැවෙන එකට විරුද්ධ පැත්ත වෙනවා වගේ එකක්නේ. එහිදී බිම් මට්ටමෙන් ජනමාධ්‍ය ඇතුළු සමාජ කණ්ඩායම් සමඟ ප්‍රායෝගිකව කටයුතු කිරීමටයි නිතර උත්සාහ දරන්නේ. ඒ මිසෙක ආයතන ප්‍රධානියා විදියට විතරක් කටයුතු කළේ නැහැ. ඊට හොඳ ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා. ඝෘණාත්මක ආකල්ප ඈත් වෙමින් පවතිනවා.
ඒ වගේම කාලගුණ අනාවැකිවලට සවන් දෙන අය කවදාවත් අපට බණින්නේ නැහැ. හරිහැටි අවබෝධයෙන් කාලගුණ නිවේදනයන්ට සවන් දෙනවා නම්, අවධානය යොමු කරනවා නම් ඒකයි වැදගත් වෙන්නේ. ඒත් ඒවායේ ඇතැම් කොටස් පමණක් අරන් ඇතැමුන් කරන අනතුරු ඇඟවීම්, සමාජ මාධ්‍ය ආදියේ ප්‍රසිද්ධ කෙරෙන නිවැරදි තොරතුරු පදනම් කර නොගත් වාර්තා ආදිය හරහා නිවැරදිව කාලගුණ වාර්තා හරිහැටි කියවා ගන්නට බැහැ. එහෙම වරදවා ගත් අය තමයි විවිධ කතා පතුරුවන්නේ. ඒත්, ඕනෑම කෙනකුට ඕනෑම දෙයක් කියන්නත් පුළුවන්නේ. ඒත් ඒවා පදනම් විරහිත නම් ප්‍රයෝජනයක් නැහැනේ.
ඔබේ ආයතනයේ නවීකරණ ව්‍යාපෘති ක්‍රියාත්මකද?
ඔව්. නවීන තාක්ෂණය අපට අත්‍යවශ්‍යයි. එහිදී ක්ෂණික වර්ෂාපතන වාර්තා කිරීමට අදාළ තාක්ෂණික පහසුකම් අතින් පැවැති අඩුපාඩු නව රජය පත්වීමෙන් පසුව ඇරඹුණා. ඒ යටතේ අපි පුත්තලමේ ඩොප්ලර් රේඩාර් ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කර තිබෙනවා. දැන් එහි කුලුන ඉදිවෙමින් පවතින්නේ. 2027 වර්ෂයේ ජූලි මස අග වන විට එහි කටයුතු නිම කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව වලාකුළක් ඉහළ අහසේ පවතින විටදීම එහි ඇතුළත් ජලවාෂ්ප ප්‍රමාණය ආදිය පිළිබඳ වඩාත් පැහැදිලි දත්ත ලැබිය හැකියි.
එසේම වලාකුළු පවතින ස්ථානය පිළිබඳ පැහැදිලි අවබෝධයකුත් එයින් ලැබිය හැකියි. එවිට කෙටිකාලීන වර්ෂාපතනයන් පිළිබඳ දැනට වඩා පැහැදිලි දළ ඇස්තමේන්තුවක් දිය හැකියි. දැනට අපි වර්ෂාපතනය පිළිබඳ පුරෝකථන කරන්නේ ගණිත ආකෘතීන් හරහායි. ඒ හරහා මිලිමීටර් 150 ඉක්මවන වර්ෂාපතන මට්ටමට පැමිණිය හැකියි. ඉන් එහාට දැනට අපි පුරෝකථනවලට යන්නේ ලැබෙන වැස්සට අනුවයි. ඒත් වඩාත් නිවැරැදි ක්‍රමවේදය එය නොවෙයි. ඩොප්ලර් තාක්ෂණය භාවිතයෙන් අවම වශයෙන් පැය එකහමාරකට දෙකකට කලින් ඒවා කිව හැකි වෙනවා.
අනෙක ලෝක බැංකු ව්‍යාපෘතියයි. එය සම්පූර්ණ කළ විටදී තවදුරටත් අපේ මොඩලයන්හි නිවැරදිභාවය තවදුරටත් වැඩි කිරීම අපේක්ෂිතයි. එවිට දැනට පළාත් වශයෙන් නිකුත් කරන කාලගුණ වාර්තා දිස්ත්‍රික් මට්ටමෙන් කීමට හැකියාව ලැබෙනවා. හැබැයි, ඒ වුණත් 100%ක් නිවැරැදි පුරෝකථන අපට නිකුත් කළ නොහැකියි. ඊට හේතුව මෙරට සමකාසන්න රටක් වීමයි. මෙරටට නිරන්තරයෙන් සූර්යාලෝකය වැටෙනවා. ශක්තිය ජනනය වෙනවා. එමෙන්ම, ශක්තිය සැණින් වෙනස් වෙනවා. ඊට අමතරව අපිට ඉහළින් ඇත්තේ ඉන්දියාව පමණයි. ඒ හැරෙන්නට අප වටාම ඇත්තේ මුහුදයි. එහි දත්ත ගැනෙන්නේ චන්ද්‍රිකා හරහායි. එහි ඇති නිවැරැදිතාව සාපේක්ෂව අඩුයි. ඒත් ඉහත සඳහන් කළ යෝජිත ව්‍යාපෘති ක්‍රියාවට නැංවූ විටදී අපට 85 -90% මට්ටමකට ආසන්න නිවැරදිතාවකින් යුතුව කෙටිකාලීනව ඇති වන වැසි තත්ත්වයන්ට අදාළව අනාවැකි පළ කිරීමේ හැකියාව ලැබෙනවා. එවිට දැනටත් වඩා ඉහළ ගුණාත්මක සේවාවක් ජනතාවට සැලසීමට අවස්ථාව ලැබෙනවා.
ඔබ ආයතනයට මානව සම්පත ප්‍රමාණවත්ද?
ඉකුත් කාලයේදී චක්‍රලේඛ ගණනාවක් ඊට නරකට බලපෑවා. ඒ හැරෙන්නට අත්දැකීම් බහුල නිලධාරීන් විශ්‍රාම යෑමේ ප්‍රවණතාව අනුවත් හිඟයක් පවතිනවා. ඒත් නව රජය අපගේ යෝජනා අනුව කාර්ය මණ්ඩල සම්පූර්ණ කර දෙමින් පවතිනවා. ඒත්, ඉක්මනින් උපාධිධාරියකු හෝ උසස් පෙළ සමතකුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යභාරයට අනුගත කරගත නොහැකියි. අවම වශයෙන් දෙවසරක මූලික පුහුණුවකින් පසුවයි අලුතින් නිලධාරීන් මෙහි රාජකාරි සඳහා යෙදවිය හැකිවෙන්නේ.
විදෙස් පුහුණුවීම් ආදිය වැදගත්ද?
අනිවාර්යයෙන්ම. ඒක එහෙම වෙන්නම ඕනෑ. කාලගුණය හා දේශගුණය ලෝකයේ සියලු රටවල් එක්ක සම්බන්ධයි. ලෝක කාලගුණ විද්‍යා සංවිධානයත් සමඟ අප බද්ධ වී සිටිනවා. අඩු ආදායම්ලාභී රටවලට මේ හා සම්බන්ධ පාඨමාලා සහ පුහුණුවීම් එමඟින් ගාස්තු රහිතව ලබා දෙනවා. ඒ කටයුතු නිරතුරුවම කෙරෙනවා.
කලාපීය වශයෙන් ඇති සහයෝගය?
උපරිම සහාය ලැබෙනවා. කලාපයක් විදියට අපි කාලගුණ විද්‍යාවට සම්බන්ධව නවදිල්ලියේ පිහිටුවා ඇති මධ්‍යස්ථානය ඇතුළු කලාපීය මධ්‍යස්ථාන සමඟ සම්බන්ධයි. ඒ හරහාත් අප නිරතුරුවම වැසි, සුළඟේ කැලඹීම් ආදී කාලගුණික තත්ත්වයන් පිළිබඳ දැනුම්වත් වෙනවා. මේ සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කරමින්මයි අපි කාලගුණ පුරෝකථන, අනාවැකි පළ කරන්නේ.
ඉකුත් ආපදා ගෙනා වැස්ස දෙසට නැවත හැරෙමුද? එය ඔබගේ පුරෝකථන ඉක්මවා ගියා නේද?
ඒක හරි. කලින් අපට බලපෑ තත්ත්වයන් ඇසුරෙන් ඒ පිළිබඳ විස්තර කරනවා නම්, කලින් ඇතිවූ බුරවි සුළි කුණාටුව ත්‍රිකුණාමලය සහ මුලතිව් අතරින් රට හරහා ගියේ. ඒත් එය එක් රාත්‍රියකින් මෙරට හැර ගියා. එහිදී දැනුම්වත් කිරීම් ඔස්සේ අපට ඊට අඩු හානි සහිතව මුහුණ දිය හැකි වුණා. ඒත් ඉකුත් දිට්වා සුළි කුණාටුව මෙරටට ඇතුළු වුණා. ඒත් අපි ඒ හැම අවස්ථාවකදීම එහි ගමන් මාර්ගය පිළිබඳ දැනුම්වත් කිරීම් කළා. එය මෙරට ඇතුළු වූ පසුව රටින් පිටත පැවැති ඒවාට වඩා වෙනස් වුණා. මෙතෙක් කල් බෙංගාල බොක්ක, අවට පැවැති සුළි කුණාටු ඔස්සේ අපට වක්‍ර බලපෑම් ඇති වුණේ. ඒත් ඉකුත් සිද්ධිය එහෙම නෙවෙයි. ඒ අනුව වෙනදාට සාපේක්ෂව වර්ෂාපතනයේ අධික ලෙස වැඩිවීමක් වුණා. අනෙක, වෙනදාට වඩා වෙනස් වුණේ වර්ෂාපතනය එක තැනකට නොව, මුළු රටටම අධික වැසි වැටීමයි. ඒ හරහා විශාල ජලකඳක් ගොඩබිම පරාසය තුළ එක්රැස් වුණා. කෙටිකාලීනව එය එසේ වන විටදී ආපදාවක් බවටත් පෙරළුණා.
ඒත් මේ දේ ආණ්ඩුව හෝ යම් පිරිසක් නිසා වූ බවක් කියනවා නම් එය පදනම් විරහිතයි. කුමන රටක, කුමන ආණ්ඩුව තිබුණත් දරුණු සුළි කුණාටුවකින් ඇති කරවන්නේ විනාශයක් ඇති කරන්නේ. ඒ අනුව සුළි කුණාටුවක් ඇතුළු වූ විටදී රට තුළ කාලගුණ විපර්යාසවලටයි අපේ රටටත් මුහුණ දෙන්න වුණේ.
හැබැයි, ඉක්මන් ප්‍රතිචාර හරහා මෙවැනි තත්ත්වයකදී වන, ආර්ථික හානි අවම කළ නොහැකි වුණත් ජීවිත හානි අවම කරගැනීමේ හැකියාව රටකට තියෙනවා. අපි කාලගුණ පුරෝකථන, අනාවැකි හරහා කරන්නේ දාමයක් වශයෙන්; ඒ වෙනුවෙන් කටයුතු කිරීමේදී අපට පැවරුණු වැඩ කොටස ඉටු කිරීමයි.
රට පුරා වැහි මාපක සමහරක් වැඩ නැතැයි සමහරු චෝදනා කරනවා?
ඒ අපේ කාර්යභාරය නොදන්නාකමටයි. අනෙක ඒක ප්‍රාථමික මට්ටමේ ප්‍රශ්නයක්. අහසින් වැසි වැටෙන්නට කලින්, ඒ වැසි ඇතුළු කාලගුණ තත්ත්වයන් පිළිබඳ පුරෝකථන, අනාවැකි ජනතා යහපත පිණිස පළ කිරීමනේ අපි කරන්නේ. හැබැයි, වර්ෂාපතනයක් ඇති වූ විටදී මුලින් කිවුවා වගේ මිලිමීටර් එකසිය පනහ ආදී මට්ටම්වලින් එහාට යනවාද කියලා මිනුම් ගැනීමේදී ඒවා භාවිත කරනවා. ඒ අදාළ වර්ෂා තත්ත්වය ඇද වැටීමෙන් පසුවයි. ඒක කාලගුණ අනාවැකියක් නෙවෙයි. හැබැයි, එයින් ආපදා තත්ත්වයන් ඇතිවිය හැකිදැයි දත්ත ගැනෙනවා. ඒ මිසක, ගණිත ආකෘති, චන්ද්‍රිකා ආකෘති ආදිය භාවිත කරන විද්‍යාත්මක තත්ත්වයකදී මෙවැනි ප්‍රාථමික කරුණු ඉදිරිපත් කිරීම මේ විද්‍යාත්මක විෂය හෑල්ලු කිරීමක් වෙන්නේ. මේවා සමාජයට ඉදිරිපත් නොකළ යුතු දේවල් විදියටයි පෙන්වා දෙන්න තියෙන්නේ. ඒ වගේමයි, අවුරුදු 19කට කලින් කැඩුණු ගොන්ගල ප්‍රදේශයේ ඩොප්ලර් රේඩාර් එකත් හැමදාම අධික වැසි තත්ත්වයකදී අපව විවේචනය කිරීමට තවමත් සමහර ජනමාධ්‍ය යොදා ගන්නවා. ඒත් අවුරුදු 19කට කලින් සිද්ධිය ආදිය උස් තැනක තබා කතා කරනවා වෙනුවට අලුතෙන් ඩොප්ලර් පද්ධති පිහිටුවමින් යාවත්කාලීන වන තත්ත්වයන් පිළිබඳත් වාර්තා හරහා දැනගැනීමටත් ජනතාවට අයිතියක් තිබෙනවා.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart