November 24, 2025

බලංගොඩ කස්සප නමැති භික්ෂුවට ලබන දෙසැම්බර් 10 දිනට පෙර අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස අද (24) ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් එම්.එන්.එම් සන්සුදීන් නොතීසි නිකුත් කර තිබේ.

ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයට අයත් ඉඩමක බුදු පිළිමයක් තැන්පත් කිරීමට යෑමේදී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව මෙම භික්ෂුව සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කරමින් ත්‍රිකුණාමල වරාය පොලිසිය පවසා ඇත්තේ, පසුගිය 16 වැනිදා උද්ගතවූ නොසන්සුන්කාරී තත්වය සම්බන්ධයෙන්, රෝහල් ගතවී සිටි බලංගොඩ කස්සප භික්ෂුවගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට වෛද්‍ය අනුමැතිය මත උත්සාහ කළ නමුත්, භික්ෂුව එය ප්‍රතික්ෂේප කළ බවයි.

ඒ අනුව, එය ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 184 වගන්ති ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් බවත් අධිකරණය වෙත දැනුම් දුන් පොලිසිය විමර්ශනවලට අදාලව සහාය දැක්වීම සියලු පුරවැසියන්ගේ යුතුකමක් බව සඳහන් කරමින් රටේ සංහිඳියාව බිඳ වැටිය හැකි සිදුවීමක් වන මෙම සිදුවීමේ විමර්ශනවලට සහාය නොදක්වන ඉහත සඳහන් භික්ෂුවට අධිකරණයේ පෙනීසිටින ලෙසට නොතීසි නිකුත් කරන මෙන් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා ඇත.

තවද බලන්ගොඩ කස්සප භික්ෂුව දැනට වාසය කරන ස්ථානයක් සොයාගැනීමට නොහැකි නිසා, භික්ෂුව වාසය කරන ස්ථානය සොයාගැනීමටත්, ජාතික හැඳුනුම්පත් අංකය හා ලිපිනය තහවුරු කරගැනීම සඳහාත්, භික්ෂුව භාවිත කරන ජංගම දුරකථන අංකයට දුරකථන විශ්ලේෂණ වාර්තාවක් ලබාදෙන ලෙස පෞද්ගලික දුරකතන සමාගමක කළමනාකරුට නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලිසිය වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලීමක් සිදුකරනු ලැබ තිබේ.

එහි දී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා අදාළ භික්ෂුවට ලබන දෙසැම්බර් 10 දිනට පෙර අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස නොසිති නිකුත් කිරීමට කටයුතු කළ අතර, භික්ෂුව භාවිත කරන ජංගම දුරකථන අංකයට දුරකථන විශ්ලේෂණ වාර්තාවක් ලබාදෙන ලෙස පෞද්ගලික දුරකතන සමාගමක කළමනාකරුට නියෝගයක් ද නිකුත් කරනු ලැබ ඇත.

(මුලාශ්‍රය – whatnews.lk)