November 19, 2025

තමාගේ උපාධිය සම්බන්ධයෙන් කෙරෙන අනාවරණයන් සහිත පුවත් වාර්තාව මුළුමනින්ම අසත්‍ය බව ඒ සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කළ විමසීමක දී නාමල් රාජපක්ෂ සඳහන් කර සිටියා.

ඒ අනුව, මෙම කාරණය සම්බන්ධයෙන් වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත්කර ඇති බී වාර්තාවක් මගින් සිදුකෙරෙන විමර්ශනයේ ප්‍රතිපල මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති තත්වයක් තුල සිදුකෙරෙන අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේ දී රටටම දැකගත හැකිවනු බවයි නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.

” මේ ආණ්ඩුව බලයට පත්වෙලා සති කීපයකින් විතර අධිකරණයට බී වාර්තාවක් දාලා මගේ උපාධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න අනුමැතිය ගත්තා. ඊට පස්සේ මස ගණනාවක් මේ සම්බන්ධයෙන් සොයා බැලීම් කරගෙන යනවා. අද වෙනතුරු අධිකරණයට කිසිම දෙයක් වාර්තා කරලා නැහැ. හැබැයි දැන් වෙබ් අඩවි වලින් මඩක් ගහනවා. නුගේගොඩ රැලියට හොඳටම බයවෙලා. බොරු බේගල් ප්‍රචාරය කරනවා. මේ සේරම අවලාද අපහස වලට 21 වෙනිදා උත්තර ලැබේවි ” යනුවෙන් එහි දී ඔහු මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කර සිටියා.

සන්ඩේ ලීඩර් පුවත්පතේ සේවය කර මේ වන විට ඩේලි මිරර් පුවත්පතේ ගවේෂණාත්මක මාධ්‍යෙව්දිනියක් ලෙස කටයුතු කරන නිර්මලා කන්නංගර නාමල් රාජපක්ෂගේ අධ්‍යාපන සුදුසුකම් වලට අදාලව ඔහුගේ උපාධි සහතිකය පිළිබඳවත්, නීති උපාධිය පිළිබඳවත් ආන්දෝලනාත්මක හෙලිදරව්වක් the examiner වෙබ් අඩවියේ පළ කිරීමත් සමඟයි මේ පිළිබඳව නැවත වරක් අවධානය යොමුව ඇත්තේ.

ඒ අනුව නාමල් රාජපක්ෂ නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට ඉදිරිපත් නොවී ඒ සඳහා ප්‍රවේශ වීම වෙනුවෙන් ඉදිරිපත් කළ ලන්ඩනයේ නෝර්ත් ඇම්ප්ටන් චතුරස්‍රෙය් පිහිටි ‘ලන්ඩන් සිටි විශ්ව විද්‍යාලයෙන්’ ලබාගත් බව සඳහන් වන නීති උපාධිය සම්බන්ධයෙනුුුයි මෙම හෙළිදරව්වේ පළමුව සඳහන් කර ඇත්තේ.

කෙසේ නමුත්, ඔහුගේ උපාධි සහතිකයට අනුව ඔහු අදාළ විශ්ව විද්‍යාලයේ නීති උපාධිය හැදෑරීම ආරම්භ කර ඇත්තේ 2006 සැප්තැම්බර් මාසයේ වන අතර, 2006 වසරේ සිට 2009 වසර දක්වා නීති උපාධි අපේක්ෂක සිසුවෙක් ලෙස කටයුතු කර තිබෙනවා.

පසුව ඔහු නැවත මෙරටට පැමිණි පසු ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වීම සදහා 2009 සැප්තැම්බර් 25 වන දින අයැදුම් පතක් යොමුකර ඇති අතර එම අයැදුම්පතේ සටහන්වලට අනුව කරුණු සමාලෝචනය කර එදිනම එම අයැදුම් පත අනුමත කර තිබෙනවා.

එහි අසාමාන්‍ය තත්ත්වය වන්නේ, නීති විද්‍යාල මූලාශ්‍රයන්ට අනුව විදේශීය විශ්ව විද්‍යාලයකින් නීති උපාධියක් ලබාගෙන පැමිණෙන පුද්ගලයෙකුගේ අදාළ උපාධියෙහි සුදුසුකම්වල සත්‍යතාව තහවුරු කිරීමට ශ්‍රී ලංකා නීති විද්‍යාලය සැලකිය යුතු කාලයක් ගතකරනු ලබන නමුත් මේ සඳහා එසේ කාලයක් ගත නොකර තිබීමයි.

තව ද ශ්‍රී ලංකා නීති විද්‍යාලය සඳහා අයැදුම්පතක් යොමුකරන විට නාමල් රාජපක්ෂ නීති උපාධිය ලබාගත් බව කියන ලන්ඩන් සිටි විශ්ව විද්‍යාලය පිළිගත් විශ්වවිද්‍යාලයක් බවට ශ්‍රී ලංකා නීති විද්‍යාලය පිළිගෙන නොතිබූ අතර , තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමකට අනුව මාධ්‍යවේදී නිර්මලා කන්නංගර ඉදිරිපත් කළ තොරතුරු පත්‍රිකාවට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති අධ්‍යාපන සංස්ථාපිත කවුන්සිලය පවසන්නේ මෙම ලන්ඩන් සිටි විශ්වවිද්‍යාලයෙහි නීති උපාධි වැඩසටහන ශ්‍රී ලංකා නීති විද්‍යාලය විසින් පිළිගත් විශ්වවිද්‍යාලයක් ලෙස හඳුනාගන්නේ 2009 ඔක්තෝබර් 15 වන දින සිට බවත්, එය නාමල් රාජපක්ෂ සිය අයදුම්පත ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඉදිරිපත් කළ 2009 සැප්තැම්බර් 25 දිනට දින 20 කට පසු වන බවත් ය.

නීති විද්‍යාලයට නාමල් රාජපක්ෂ ඉදිරිපත් කරන ලද අයැදුම්පතද අසම්පූර්ණ එකක් බවටද තොරතුරු තහවුරු වී ඇති අතර, නීති උපාධියක් ලබාගෙන ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්වන සිසුවෙකු ඔහුගේ උපාධි සහතිකයේ මුල් පිටපත සහ Transcript පිටපතක් අයැදුම්පත සමඟ ඉදිරිපත් කළ යුතු වුවත් නාමල් රාජපක්ෂ සිය අයැදුම්පත සමඟ ඉදිරිපත් කර තිබුණේ Transcript පිටපත පමණක් වන බවත්, ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙහි නාමල් රාජපක්ෂගේ ලිපිගොනුවෙහි ලන්ඩන් සිටි විශ්ව විද්‍යාලයේ නීති උපාධි සහතිකය මේ වන තෙක්ම නොමැති බවත් ය.

ඒ වෙනුවට  “නීති උපාධි වැඩසටහනෙහි සියලුම අවශ්‍යතා සම්බන්ධයෙන් ඔබ තක්සේරු මණ්ඩලය තෘප්තිමත් කර ඇති බවත්, තුන්වන පන්තියේ නීතිවේදී උපාධියක් ලබා ඇති බවත් ඔබට දැනුම් දීමට සතුටු වෙමි” යනුවෙන් සඳහන් වූ 2009 වසරේදී ලන්ඩන් සිටි විශ්ව විද්‍යාලයෙන් ඔහු වෙත නිකුත් කර ඇති ලිපියක් පමණක් එහි අන්තර්ගත බව නීති විද්‍යාලය විසින් දැනුම් දී ඇති අතර, අදාළ උපාධි ලිපිය සත්‍ය බව සැලකා කටයුතු කලත් එය ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වීමට ප්‍රමාණවත් තරම් උපාධියක් නොවන බවයි සඳහන් වන්නේ.

2009 වසර වන විට විදෙස් රටකින් නීති උපාධිය සම්පූර්ණ කර පැමිණෙන සිසුන්ගේ නීති උපාධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීති විද්‍යාලය “අදාළ නීති උපාධිය එම රටෙහි නීතිඥ සංගමයට ඇතුළත්වීමට තරම් පිළිගැනීමක් ඇති වෘත්තීය අධ්‍යයන පාඨමාලාවක් සහිත උපාධියක් විය යුතුය” යන නිර්දේශය සලකා බලන ලද නමුත්, නාමල් රාජපක්ෂ එක්සත් රාජධානියෙන් ලබාගත් උපාධිය, එක්සත් රාජධානියේ නීතිඥ මණ්ඩලයට ඇතුළත් වීමට අවශ්‍ය ප්‍රවේශ සුදුසුකම් සපුරන්නේ ද නැත.

ඒ අනුව නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටීමකින් තොරව ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්වීමට අයැදුම්පතක් යොමුකිරීමට පවා නාමල් රාජපක්ෂ සුදුසුකම් නොලබන බවයි මෙමගින් පෙනී ගොස් ඇත්තේ.

නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්වීමේ අයැදුම්පත සමඟ නීති උපාධිය සම්පූර්ණ කිරීමේ සහතිකයක් ඉදිරිපත් නොකල නමුත්, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සඳහා අයැදුම් කිරීමේ උපාධි සහතිකයක් ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව පරීක්ෂා කිරීමේ දී අනාවරණය වී ඇත්තේ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ලබාදී ඇති නාමල් රාජපක්ෂගේ උපාධි සහතිකයෙහි ලන්ඩන් සිටි විශ්ව විද්‍යාලයේ උපකුලපති ‘මැල්කම් ගිලීස්’ මහතා 2009 සැප්තැම්බර් 15 ඊට අත්සන් තබා ඇති බව සඳහන් වන නමුත්, 2009 වසරේ ජූලි මාසයේදී මැල්කම් ගිලීස් එම විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බවයි.

මෙම කරුණ සම්බන්ධයෙන් මහාචාර්ය මැලකම් ගිලීස්ගෙන් විමසා සිටියදී ඔහු සදහන් කර ඇත්තේ විශ්ව විද්‍යාලයෙන් පිටව ගිය පසුව තමන්ගේ අත්සන සහිතව නිකුත් කර ඇති කිසිදු සහතිකයක් පිළිබදව තමන් නොදන්නා බවය.

එමෙන්ම මෙම කාලය තුළ ලන්ඩන් සිටි විශ්වවිද්‍යාලයේ කටයුතු කර ඇත්තේ මහාචාර්ය මැලකම් ගිලීස් නොව ඔහුගේ ඉවත්වීමෙන් පසුව පත්කළ වැඩබලන උපකුලපතිවරයාවූ මහාචාර්ය ජූලියස් වෙයින්බර්ග් බව ලන්ඩන් සිටි විශ්ව විද්‍යාලය ද තහවුරු කර තිබෙනවා.

කෙසේ නමුත්, මීට අමතරව නාමල් රාජපක්ෂ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සඳහා යොමුකරන ලද අයැදුම් පතෙහි ඔහුට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන්ම ‘කලාව පිළිබඳ ශාස්ත්‍රපති සුදුසුකම්'(MAQ) සපුරා ඇති බව සදහන් කර ඇති අතර, මේ පිළිබදව විමසීමේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සදහන් කර ඇත්තේ මෙය අසාමාන්‍ය තත්ත්වයක් බවයි.

ඔහුට ඒ වන විටත් නීතිය පිළිබදව ලන්ඩන් සිටි විශ්ව විද්‍යාලයෙන් ගෞරව උපාධියක් හිමිව තිබුණේ නම් ‘කලාව පිළිබඳ ශාස්ත්‍රපති සුදුසුකම්’ සපුරා ඇත්තේ ඇයි දැයි ප්‍රශ්න කර සිටි ඔහු සඳහන් කර ඇත්තේ, නීති උපාධියෙන් පමණක් ඔහුට ශාස්ත්‍රපති උපාධිය සඳහා ප්‍රවේශය ලබාගත හැකිව තිබූ බවයි.

නාමල් රාජපක්ෂ ඔහුගේ අධ්‍යන වසරේදී ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් ඉහළම ලකුණු ලබාගත් සිසුවා වීමට සමත් වූ අතර, Law of Obligations විෂය සඳහා ත්‍යාගයක් ද හිමි කරගනු ලැබුවා.

නමුත්, නීති විද්‍යාල සිසුවෙකු වූ තුෂාර ජයරත්න 2010 වසරේදී නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාල විභාගයට පෙනී සිටි ආකාරය වංචා සහගත බවට චෝදනා කළ අතර, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්ගතමේන්තුව මේ වන විට පරීක්ෂණ කටයුතු ද මෙහෙයවමින් සිටිනවා.

(උපුටා ගැනීම – Whatnews.lk)