November 19, 2025

සයිබර් අවකාශයේ මතුවන තාක්ෂණික තර්ජනවලට ප්‍රතිචාර දැක්වීමට හැකියාව ඇති ආරක්ෂක හමුදාවක් ගොඩනැගීම රජයේ ප්‍රතිපත්තිය බවත් ඒ සමඟම රටේ සමුද්‍රීය හා ගුවන් ආරක්ෂක හැකියාවන් ශක්තිමත් කිරීමට ද කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ දී ඊයේ ඔහු මේ බව සඳහන් කළේ වාර්ගික ආතතීන් හෝ ජාතිවාදී ගැටුම් සන්නද්ධ ගැටුමක් දක්වා වර්ධනය විය හැකි බවට වන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමිනි.

ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන්ට ලබා දෙන සහයෝගය ද ඔහු ගෙනහැර දැක්වීය.

ඉන්දියාව විවිධ තාක්ෂණික සහාය සමඟ ජීප් රථ 70ක් ලබා දී ඇති අතර සන්නද්ධ හමුදාවල කුසලතා මට්ටම් වැඩි දියුණු කිරීම සඳහා තාක්ෂණික ඇකඩමියක් පිහිටුවීම වෙනුවෙන් සහාය වීමට යෝජනා කර ඇත.

2026 දී ශ්‍රී ලංකාවට TF57 හෙලිකොප්ටර් 10ක් ප්‍රදානය කිරීමට එක්සත් ජනපදය පොරොන්දු වී සිටී.

ඊට අමතරව, 2026 සහ 2027 දී අමෙරිකා එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව C-130 ගුවන් යානා දෙකක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ප්‍රදානය කරනු ඇත.

අමෙරිකා එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව විසින් KA-360 සහ KA-350 බීච්ක්‍රාෆ්ට් ගුවන් යානා දැනටමත් ප්‍රදානය කර ඇති බව ජනාධිපතිවරයා පැවසීය.