November 17, 2025

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ඉන්දීය සංචාරයේදී කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ජාතික ඒකාබද්ධ කමිටුව කලකිරීම ප්‍රකාශ කර තිබේ.

තමන් බලයට පත් වූ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මතභේදාත්මක 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බවට සජිත් ප්‍රේමදාස කළ ප්‍රකාශය පිළිබඳ ජාතික ඒකාබද්ධ කමිටුව කලකිරීමට පත්ව සිටී.

ජාතික ඒකාබද්ධ කමිටුවේ සම සභාපතිවරුන් වන විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස් සහ ආචාර්ය අනුලා විජේසුන්දර විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වුනේ ඉන්දීය සංචාරයේ දී විපක්ෂ නායකවරයා කළ ප්‍රකාශය පිළිබඳ ඔවුන් ‘කම්පනයට, කලකිරීමට සහ පිළිකුලට’ පත්ව ඇති
බවයි.

ප්‍රේමදාසගේ මෙම ප්‍රකාශ පාවාදීමක් ලෙස, ජාතියට අපහාසයක් ලෙස සහ ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ඉතා නුසුදුසු දෙයක් ලෙස තමන් සළකන බව ජාතික ඒකාබද්ධ කමිටුව පැවසීය.

“ජාතික ඒකාබද්ධ කමිටුව සළකන්නේ 13 වැනි සංශෝධනය යල් පැන ගිය එකක් ලෙසයි,” යනුවෙන් ඔවුන්ගේ ප්‍රකාශයේ සඳහන් විය.

එම සංශෝධනය සම්මත කර ගැනීමට හේතු වූ ඉන්දු-ලංකා ගිවිසුම බලහත්කාරයෙන් අත්සන් කර ඇති බව එම කමිටුවේ අදහසයි.

එල්ටීටීඊ සංවිධානය නිරායුධ කිරීමේ ගිවිසුමේ තම කොටසට ගරු කිරීමට ඉන්දියාව අපොහොසත් වූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස, ගැටුම දශක තුනක් පුරා ඇදී ගිය බවත්, එමනිසා ආරක්ෂක හමුදා නිලධාරීන් සහ සිවිල් වැසියන් දස දහස් ගණනක් මිය ගිය බවත් එහි සඳහන් විය.

විපක්ෂ නායකවරයාගේ ප්‍රයෝජනය සඳහා 13 වැනි සංශෝධනය පිළිබඳ ඇතැම් ගැටළු පැහැදිලි කරන බව ජාතික ඒකාබද්ධ කමිටුව ප්‍රකාශ කළේය.

එම ගැටළු අතර:

1.ඉඩම්, පොලිස් සහ පරිපාලන බලතල බෙදා හරිනු ලැබුවහොත්, සංශෝධනය ජාතික සමගියට සහ රාජ්‍යයේ ඒකීය ස්වභාවයට (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 වැනි වගන්තිය) තර්ජනයකි.

2.එවක උතුරු-නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා 1990 දී ඒකපාර්ශ්වික නිදහස ගැන ප්‍රකාශයක් කළේය.

3.විෂය බෙදා හරිනු ලැබුවහොත් හෝ කලාපීය අධිකාරියට යටත් වුවහොත් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ පෝෂණය කිරීම සඳහා රාජ්‍යයේ යුතුකම (9 වැනි වගන්තිය) සහතික කිරීම රාජ්‍යයට වඩාත් අපහසු වනු ඇත.

4.ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කිහිපයක්ම ස්වෛරීභාවය බෙදිය නොහැකි බව ප්‍රකාශ කර ඇති අතර, රාජ්‍යයේ මූලික බලතළ නොවැදගත් ඒකකවලට පාවා දීම පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාමය ආධිපත්‍යයට සහ ජාතික ආරක්ෂාවට සෘජුවම තර්ජනයක් වේ.

5.13 වැනි සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කළ විට, විනිසුරු මඩුල්ලේ සිටි විනිසුරුවරුන් නව දෙනාගෙන් පස් දෙනෙකු කියා සිටියේ විධායක ජනාධිපතිවරයාට අසීමිත බලයක් පැවරී ඇති බැවින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒකීය ස්වභාවයට බලපාන්නේ නැති බවයි.

කෙසේවෙතත්, පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන ලද සංශෝධන මගින් විධායක ජනාධිපතිවරයාගේ බලය තරමක් අඩුවිය.

එබැවින්, 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කළ නොහැක.

විපක්ෂ නායක ප්‍රේමදාස විසින් ඉන්දියාවේදී කරන ලද ප්‍රකාශ ඔහුගේ පෞද්ගලික මතයද, සමගි ජන බලවේගයේ මතයද නැතහොත් ඔහුගේ සාමූහික පක්ෂ සාමාජිකත්වයේ මතයද යන්න පැහැදිලි කරන ලෙස ජාතික ඒකාබද්ධ කමිටුව පැවසීය.

ජාතික ඒකාබද්ධ කමිටුව සියලුම දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටියේ, දේශීයව හෝ විදේශයන්හිදී රට නියෝජනය කරන විට, මාතෘ භූමියේ ස්වෛරීභාවයට තර්ජනයක් වන කිසිදු ආකාරයක බාහිර පීඩනයකට යටත් නොවී, ජාතියේ යහපත වෙනුවෙන් වගකීමෙන්, දේශප්‍රේමීත්වයෙන් සහ ජාතියට සහ එහි ජනතාවට ආදරයෙන් කටයුතු කරන ලෙසයි.