November 14, 2025

මෙරට රාජ්‍ය ව්‍යවසායන් 52ක් අතුරින් 18ක් 2025 වසරේ මුල් මාස හය තුළ පාඩු වාර්තා කර ඇති අතර එමඟින් රජය සහ බදු ගෙවන්නන් මත අමතර බර පැටවීමක් සිදුව ඇතැයි මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද වසර මැද මූල්‍ය වාර්තාවේ දැක්වේ.

රාජ්‍ය ව්‍යවසාය අංශයේ සමස්ත ලාභදායිතාවය තියුණු ලෙස අඩු වී ඇති බවත්, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ලංකා සීනි සමාගම වැනි ප්‍රධාන ආයතන විශාලතම පාඩු ලබන ආයතන අතර ඇති බවත් වාර්තාවෙන් පෙන්නුම් කර තිබේ.

2024 දී, වසරේ මුල් භාගය තුළ රාජ්‍ය ආයතන 52 සාමූහිකව රුපියල් බිලියන 280.7 ක ලාභයක් වාර්තා කර ඇති නමුත් ඊට සාපේක්ෂව 2025 වසරේ එම කාලය තුළ එම අගය රුපියල් බිලියන 227.8 දක්වා පහත වැටී ඇත.

2025 ජුනි 30 වන දින වන විට රුපියල් බිලියන 13.2 ක බදු ගෙවීමට පෙර අලාභයක් ලංකා විදුලිබල මණ්ඩලය වාර්තා කර ඇති අතර, එය 2024 දී රුපියල් බිලියන 144 ක ලාභයක් සහ 2023 දී රුපියල් බිලියන 57.6 ක් ලාභයක් වාර්තා කර තිබිණි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ද තියුණු පසුබෑමකට ලක්ව ඇති අතර, 2025 අප්‍රේල් සිට ජුනි දක්වා කාලය තුළ රුපියල් බිලියන 12 ක බදු ගෙවීමට පෙර අලාභයක් වාර්තා කර ඇත. එහි සමුච්චිත පාඩු දැන් රුපියල් බිලියන 628 ක් වන අතර එමඟින් ගුවන් සමාගමේ කොටස් තත්ත්වය රුපියල් බිලියන 415 ක සෘණ අගයකට තල්ලු වී ඇති අතර මුළු වගකීම් ප්‍රමාණය රුපියල් බිලියන 606.7 ක් බව වාර්තාවෙන් පෙන්වාදෙයි.

ගුවන් සමාගම සම්බන්ධයෙන් භාණ්ඩාගාරයේ මැදිහත්වීම හරහා ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 210 ක් සහ රුපියල් බිලියන 31.4 ක් වූ දිගුකාලීන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

ලංකා සීනි සමාගම ද සැලකිය යුතු අලාභයක් පෙන්නුම් කර ඇති අතර, ජුනි 30 වන විට බදු ගෙවීමට පෙර රුපියල් බිලියන 2.6ක අලාභයක් වාර්තා කර ඇති අතර, එය 2024 දී රුපියල් බිලියන 1.9 ක අලාභයක් සහ පෙර වසරේ රුපියල් බිලියන 2.8 ක ලාභයක් වාර්තා කර තිබේ.

2026 අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ දේශපාලන මැදිහත්වීම්, දුර්වල මූල්‍ය කළමනාකරණය සහ කුසලතාවයට වඩා අනුග්‍රහය මත පදනම් වූ බඳවා ගැනීම් හේතුවෙන් රාජ්‍ය ආයතන සැලකිය යුතු මූල්‍ය පීඩනයකට මුහුණ පා ඇති බවයි.

ආයතන ගණනාවකට බැංකු ණය, බදු හෝ සේවක EPF/ETF දායක මුදල් ගෙවීමට නොහැකි වී තිබේ. සේවක ප්‍රතිලාභ සහ හිඟ බදු වැනි කල් ඉකුත් වූ ගෙවීම් පියවීම සඳහා රජය දැනටමත් රුපියල් බිලියන 11 ක් වෙන්කර ඇත.

වාණිජ, නියාමන හෝ පරිපාලන අදාළත්වයක් නොමැති ආයතන වසා දැමීමට, සමගාමී කාර්යයන් ඉටු කරන ආයතන ඒකාබද්ධ කිරීමට සහ ඒවායේ මුල් අරමුණෙන් ඉවතට ගිය ආයතන ප්‍රතිසංවිධානය කිරීමට රජය අදහස් කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

මෙම පීඩන මධ්‍යයේ වුවද, 2025 වසරේ පළමු භාගයේදී ප්‍රධාන රාජ්‍ය බැංකු රුපියල් බිලියන 65.5 කින් ලාභදායීතාවය වැඩි කර ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරන අතර, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ සේවක භාර අරමුදල් මණ්ඩලය ද වැඩිදියුණු කළ කාර්ය සාධනයක් වාර්තා කර ඇත.

2026 වන විට අක්‍රිය ආයතන 33 ක් වසාදැමීමට සහ නව විධාන සහ කාර්යක්ෂමතා ඉලක්කවලට අනුකූලව අනෙකුත් ඒවා ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට රජය දැනටමත් පියවර ගෙන තිබේ.

2025 ජුනි 30 වන දින වන විට පාඩු වාර්තා කරන රාජ්‍ය ආයතන වන්නේ:

* ලංකා විදුලිබල මණ්ඩලය

* ශ්‍රී ලංකන් ගුවන් සේවය

* ලංකා සීනි සමාගම

* රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව

* ලංකා සතොස

* හෝටල් සංවර්ධකයින්ගේ (ලංකා) සමාගම

* රාජ්‍ය සංවර්ධන හා ඉදිකිරීම් සංස්ථාව

* ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව

* රාජ්‍ය දැව සංස්ථාව

* ස්වාධීන රූපවාහිනී ජාලය (ITN)

* ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව

* රාජ්‍ය මුද්‍රණ සංස්ථාව

* ලංකා ධීවර වරාය සංස්ථාව

* ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය

* ජනතා වතු සංවර්ධන මණ්ඩලය

* ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව

* ශ්‍රී ලංකා කජු සංස්ථාව

* ලංකා ධීවර සංස්ථාව

භාණ්ඩාගාර සහාය අවශ්‍ය වන EPF/ETF සහ බදු ගෙවීමට නොහැකි ආයතන වන්නේ:

* ලංකා සීනි පෞද්ගලික සමාගම

* ජනතා වතු සංවර්ධන මණ්ඩලය

* ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව

* ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව

* ලංකා ධීවර සංස්ථාව

* ජාතික පශු සම්පත් සංවර්ධනය මණ්ඩලය

* ඇල්කඩුව වැවිලි සමාගම

* ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව

* නෝර්ත් සී සමාගම

* ලංකා සෙරමික් ඒකාබද්ධ ව්‍යාපාර සංස්ථාව