November 13, 2025

2026 අයවැය යෝජනාවලියේ ඇතැම් අන්තර්ගතයන් හමුවේ වෛද්‍ය වෘත්තිකයන් සහ මහජන සෞඛ්‍ය අංශය මුහුණ දෙන අසාධාරණකම් පිළිබඳව එම ක්ෂේත්‍ර නියෝජනය කරන්නන් අතර පුළුල් කනස්සල්ලක් ඇතිකර තිබේ.

ඒ සඳහා ප්‍රතිචාර වශයෙන් හදිසි සාකච්ඡා සහ තීරණ ගැනීම සඳහා දිවයින පුරා සිටින විශේෂඥ වෛද්‍යවරුන් මෙම සතියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මූලස්ථානයට කැඳවා ඇතැයි වාර්තා වේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ, මෙවර අයවැය මෙරට නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතියට වල කපන බව පෙනෙන බවයි.

මෙවර මෙන්ම පසුගිය වර ඉදිරිපත් කළ අයවැය මගින් වෛද්‍යවරුන් දැනටමත් වැටුප් කප්පාදු කිහිපයකට මුහුණ දී ඇතැයි එම සංගමය පවසයි.

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවන්නේ, මෙවැනි කෙටිකාලීන තීරණ දක්ෂ වෘත්තිකයන්ගේ බුද්ධි ගලනය වේගවත් කිරීමේ අවදානමක් ඇතිකරන බවයි.

ඉහළ අවදානම් සහිත, දිවයින පුරා වගකීම් දරන විශේෂඥ වෛද්‍යවරුන්, විශේෂ දීමනා හෝ ආවරණ දිරිගැන්වීම් නොමැතිව රෝහල් කිහිපයක සේවා ආවරණය කිරීම අඛණ්ඩව සිදු කරගෙන යන අතර, බොහෝ විට අඛණ්ඩ රෝගී සත්කාර පවත්වා ගැනීම සඳහා දැඩි පීඩනයක් යටතේ සේවය කරන බව ද සංගමය පෙන්වා දී තිබේ.

එම සංගමය පෙන්වාදෙන පරිදි අනෙකුත් රාජ්‍ය සේවා ශ්‍රේණි මෙන් නොව, මෙම වෛද්‍යවරුන්ට ප්‍රවාහන හෝ ඉන්ධන දීමනා නොලැබෙන අතර, බොහෝ දෙනෙක් තම වැටුපෙන් අඩකට වඩා දුරස්ථ රෝහල්වල සේවය කිරීම සඳහා වැයකරති.

බදු සහන බලපත්‍ර ඉවත් කිරීම සහ අත්‍යවශ්‍ය සේවා අවශ්‍යතා සඳහා අයවැය විසඳුම් නොමැතිකම වෛද්‍ය විශේෂඥයන් අතර දැඩි නොසන්සුන්කාරී පරිසරයක් නිර්මාණය කර ඇතැයි ද සංගමය පවසයි.

එවන් පසුබිමක් තුළ විදේශයන්හි පුහුණුව ලත් විශේෂඥ වෛද්‍යවරුන්ට යළි පැමිණෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා කළ පරස්පර විරෝධී ආයාචනය ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විවේචනයට ලක කළ අතර, ඒ සමඟම දැනටමත් සේවය කරන වෛද්‍යවරුන්ගේ වැටුප් සහ ප්‍රතිලාභ කපාහැර ඇතැයි ද පෙන්වාදෙයි.

එමෙන්ම ඔවුන් පෙන්වාදෙන්නේ නැවත පැමිණෙන විශේෂඥ වෛද්‍යවරයකුට තම දරුවන් රජයේ පාසලකට ඇතුළත් කිරීමට අවස්ථාව ද අහිමි වී ඇති බවයි.

එවැනි අදූරදර්ශී ප්‍රතිපත්ති දිගටම පැවතුණහොත්, ශ්‍රී ලංකාවේ ගෝලීය වශයෙන් ගෞරවනීය නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතිය ආපසු හැරවිය නොහැකි පරිහානියකට මුහුණදෙනු ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

නිදහස් සෞඛ්‍ය සේවා සහ වෛද්‍ය වෘත්තිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන තම කැපවීම එම සංගමය නැවත තහවුරු කළ අතර, රජය අර්ථවත් ලෙස ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වුවහොත් ලබන සඳුදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවක් ආරම්භ කරන බවට ද අනතුරු අගවා ඇත.

එහි පූර්ව පියවරක් ලෙස රට පුරා සිටින සියලුම විශේෂඥ වෛද්‍යවරුන් හෙට දිනයේ කොළඹ පිහිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මූලස්ථානයට කැඳවා ඇත්තේ ඔවුන් මුහුණදෙන අභියෝග සාකච්ඡා කිරීමට සහ සේවා බාධා සහ වෘත්තීය සමිති බලමුලු ගැන්වීම ඇතුළු අනාගත ක්‍රියාමාර්ග තීරණය කිරීමට බව වාර්තා වේ.