November 1, 2025

පසුගිය වසර හය තුළ මෙරට නායයෑම් සහ බෑවුම් කඩා වැටීම් හා සසඳන විට පස් බැමි බිඳවැටීම් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වී තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස, පස් බැමි අසල නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීමේදී අමතර අවධානයක් යොමු කරන ලෙස නිලධාරීහු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිති.

2019–2024 සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) නායයෑම් පර්යේෂණ සහ අවදානම් කළමනාකරණ අංශයෙන් ලැබුණු දත්තවලට අනුව, නායයෑම් සහ බෑවුම් කඩාවැටීම් 936ක් සහ පස් බැමි බිඳවැටීම් 4,320ක් වාර්තා වී ඇත.

මේවායින් මරණ 52ක් ද සිදුවී ඇත.

“බොහෝ අය පස් බැමි අසල පහත් මට්ටමේ බිම්වල නිවාස ඉදිකිරීමට කැමැත්තක් දක්වනවා. අඩි 10ක් තරම් උස බෑවුමක් ව්‍යසනකාරී සිදුවීමක් ඇති කළ හැකියි. ඊට අමතරව, අසල්වැසි ප්‍රදේශවල උල්පත් හරහා ජලය ගමන් කරන විට, බිම ඉරිතලා යෑමට පටන් ගන්නවා. බෑවුමක් මීටර් එකහමාරකට වඩා උසකට ශ්‍රේණිගත කළ විට, එය නිසැකවම කඩා වැටෙන්න පුළුවන්” යැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර පැවසුවේය.

නිවසක් සහ බෑවුමක් අතර අවම වශයෙන් අඩි 10ක දුරක් තිබිය යුතු බව ඔහු පැවසීය.

“වීල්බැරෝවක් පුරවන්න පුළුවන් ප්‍රමාණයේ පස් ප්‍රමාණයක් කඩා වැටෙනකොටත, ඉඩම විශාල අනතුරකට ලක් වනවා. ඇත්ත වශයෙන්ම, බෑවුමක් අසල ඇති ඕනෑම බිමක් අනතුරුදායකයි.” යනුවෙන් ඔහු පැවසීය.

ඉහළ නායයෑම් අවදානමක් ඇති දිස්ත්‍රික්ක ලෙස නුවරඑළිය, බදුල්ල, මහනුවර, මාතලේ, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්රික්ක හයක් හඳුනාගෙන ඇත.

ඊට අමතරව, මොනරාගල, කුරුණෑගල, ගම්පහ, කොළඹ, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට මධ්‍යස්ථ අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස වර්ගීකරණය කර ඇති නිසා නායයෑම් අවදානම සඳහා නිරීක්ෂණය යටතේ ඇති දිස්ත්‍රික්ක 14ක් බවට පත්ව ඇත.

මේ වන විට, නායයෑම් තර්ජනයට ලක්ව ඇති බවට හඳුනාගෙන ඇති ප්‍රදේශවල පවුල් 14,000ක් පමණ ලියාපදිංචි කර ඇති අතර, රජයේ සහාය ඇතිව පවුල් 5,000ක් පමණ නැවත පදිංචි කර ඇත.

නැවත පදිංචි කිරීම මට්ටම් තුනකට ප්‍රමුඛතාව දී ඇත.

ඒ ප්‍රමුඛතාව 1යටතේ ග්‍රාමීය නිවාස 2,780ක් සහ වතු නිවාස 258ක්, ප්‍රමුඛතාව 2 යටතේ ග්‍රාමීය නිවාස 7,876ක් සහ වතු නිවාස 1,199ක් සහ ප්‍රමුඛතාවය 3 යටතේ ග්‍රාමීය නිවාස 1,610ක් සහ වතු නිවාස 462ක් වශයෙනි.

ශ්‍රී ලංකාවට තවමත් බිම් මට්ටමේ සෘජු ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් නොමැති බව ආචාර්ය සේනාධීර අනාවරණ කළේය.

කෙසේවෙතත්, එවැනි තාක්ෂණයක් හඳුන්වා දීම සඳහා ලෝක බැංකුව විසින් අරමුදල් සපයන ලද ව්‍යාපෘතියක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරහා යෝජනා කෙරේ.

“මේ වන විට ඉලක්කගත දිස්ත්‍රික්ක 14ක ස්වයංක්‍රීය වර්ෂාපතන මාපක 330ක් සවි කර තිබෙනවා. වර්ෂාපතනය මිලිමීටර් 75ක් වූ විට මූලික අනතුරු ඇඟවීම නිකුත් කෙරෙනවා. මිලිමීටර් 150ක් වූ විට ඉවත් කිරීමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරෙනවා. ජනතාවට සෘජුවම අනතුරු ඇඟවීමේ පද්ධතියක් දැනට නැහැ. නිල නාලිකා සහ සමාජ මාධ්‍ය හරහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලබනවා. ආපදා වැළැක්වීම පිළිබඳ නිතිපතා මහජන දැනුවත් කිරීමේ ව්‍යාපාර සිදු කරනවා’’ යැයි ආචාර්ය සේනාධීර පැවසීය.

රුහුණු විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය එස්. විජේරත්න පැවසුවේ මෑත වසර දක්වා ශ්‍රී ලංකාව ආපදා සඳහා සූදානම් වීමේදී අනෙකුත් ආසියානු රටවලට වඩා පසුගාමී වූ බවයි.

අතීතයේ දී ගංවතුර රට තුළ බහුලව දක්නට ලැබෙන ස්වාභාවික අනතුරක් බවත්, නායයෑම්, සුළි සුළං, නියඟ, භූමිකම්පා සහ සුනාමි සාපේක්ෂව දුර්ලභ බවත් ඔහු පැවසීය.