October 30, 2025

වෛද්‍යවරුන් සඳහා ක්‍රියාත්මක කරන අත්තනෝමතික මාරු කිරීමේ ක්‍රියාපටිපාටියට විරෝධය පළ කරමින් හෙට (31) රට පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනය කර තිබේ.

මෙම ස්ථාන මාරු යාන්ත්‍රණය අද (30) බලාත්මක කළහොත්, රට පුරා රෝහල් සහ සෞඛ්‍ය සේවා ආයතනවල සේවාවන්හි සිදුවන ඕනෑම බාධාවක් සඳහා බලධාරීන් වගකිව යුතු බව ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අත්තනෝමතික මාරුවීම් ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය වහාම අත්හිටුවිය යුතු බවත්, අදාළ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් සහ සෞඛ්‍ය සේවයට කිසිදු බාධාවකින් තොරව නිසි යාන්ත්‍රණයක් හරහා එය සිදු කළ යුතු බවත් ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තවදුරටත් පැවසීය.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම අත්තනෝමතික ක්‍රියාමාර්ග සෞඛ්‍ය සේවයේ ස්වාධීනත්වය තවදුරටත් අඩපණ කරන බවයි.

“ශ්‍රී ලංකාවේ ස්වාධීන සෞඛ්‍ය පද්ධතිය අඩපණ කර එමඟින් ලාභ ලබා ගැනීම අරමුණු කරගත් කණ්ඩායමක් මෙම ක්‍රියාදාමය පිටුපස සිටින බවට අපට බරපතළ සැකයක් තිබෙනවා,” යනුවෙන් සංගමයෙන් චෝදනා එල්ල විය.

සෞඛ්‍ය අමාත්‍යාංශයට යෝජනා ඉදිරිපත් කර ඇතත්, බලධාරීන් තවමත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට හෝ සාකච්ඡා පැවැත්වීමට කටයුතු කර නොමැති බව ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පැවසීය.