September 16, 2025

කළුතර බන්ධනාගාර පරිශ්‍රය තුළ ඇති ‘බෝ ගසකට’ නැග ඉන් පැනීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියකු මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා කළුතර, වස්කඩුව ප්‍රදේශයේ පදිංචි සම්පත් මෙන්ඩිස් ලෙස හඳුනාගෙන ඇත.

මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාව මත බන්ධනාගාරගත කර සිටි රැඳවියා ජූලි 21 වැනි දින බන්ධනාගාර පරිශ්‍රයේ බෝ ගසකට නැග ඇති බවත්, පසුව එයින් බිමට පැනීමෙන් බරපතල තුවාල සිදුවී ඇති බවත් පොලිසිය පවසයි.

ඒ අනුව, ඔහු ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර සුවය ලැබීමෙන් පසු නැවත බන්ධනාගාරගත කර තිබේ.

කෙසේවෙතත්, රැඳවියාගේ තත්ත්වය නැවතත් නරක අතට හැරී ඇති අතර ඊයේ (15) රාත්‍රියේ ඔහු නැවත රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු මියගොස් ඇත.

කළුතර උතුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.