
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොල්ලුපිටියේ පිහිටි රාත්රී සමාජ ශාලාවක ආරක්ෂකයෙක් ලෙස සේවයේ නිරතව සිටින බොරැල්ල, වනාතමුල්ලේ දුමින්දගේ ගෝලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සූදානමින් රැගෙන ආ බව කියන ටී 56 ගිනි අවියක් සමඟ පස්දෙනෙක් අත්අඩංගුවට ගැනීමට කොල්ලුපිටිය පොලීසිය සමත්ව ඇත.
මෙම වෙඩි තැබීම සැලසුම් කර ඇත්තේ ඩුබායි හි රැඳී සිටින ‘වනාතේ චතූ’ නමැති පාතාලයේ මත්කුඩු ජාවාරම්කරු බවටද තොරතුරු අනාවරණය වී තිබේ.
වනාතමුල්ල ආශ්රිතව පසුගිය දිනවල සිදුවූ වෙඩිතැබීම්වලට යොදාගෙන ඇත්තේ මෙම ටී 56 අවිය බවට පොලිසිය සැකකරයි.
කොල්ලුපිටිය පොලීසියේ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පෙරේදා (09) රාත්රියේ යතුරුපැදියකින් සංචාරක රාජකාරියේ නිරතව සිටියදී කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරේ ස්ථානයක ගමන් මල්ලක් අතින් ගෙන රැඳී සිටි සැකකටයුතු තරුණයන් දෙදෙනෙකු නිරීක්ෂණය වී ඇත.
ඔවුන් වෙත ගිය පොලිස් නිලධාරීන් දෙදෙනා කිට්ටුවී බෑගයේ ඇත්තේ කුමක්දැයි විමසා තිබේ. එවිට ඔවුන් දෙදෙනා බෑගය අතහැර දමා පළාගොස් ඇත.
බෑගය පරීක්ෂා කිරීමේදී ඒ තුළ ටී 56 වර්ගයේ ගිනි අවියක් තිබී ඇත. මෙහිදී එක් සැකකරුවෙක් පළාගොස් ඇත්තේ කුලී යතුරුපැදියක නැඟීය. පොලිස් නිලධාරීන් පන්නා ගොස් යතුරුපැදියේ ගමන්කරමින් සිටි සැකකරු අල්ලාගෙන ඇත.
කොල්ලුපිටියේ පිහිටි සමාජ ශාලාවක සේවයේ නිරත ආරක්ෂකයෙක්ට වෙඩි තබා ඝාතනය කිරීමට එම අවිය රැගෙන ආ බව එහිදී තොරතුරු අනාවරණය වී තිබේ.
යතුරුපැදියකින් දෙදෙනෙකු පැමිණෙනු ඇති බවත් ඔවුන්ට ගිනි අවිය ලබාදෙන ලෙසත් අත්අඩංගුවේ සිටි සැකකරු පවසා ඇත. ඔහු සේදවත්තේ පදිංචිකරුවෙක් බව පොලීසිය සඳහන් කළේය.
ඔහු සමඟ රැඳී සිට පලාළාගිය පුද්ගලයා ඝාතන සැකකරුවෙක් බවත් ‘වනාතේ බිම්සර’ නමැත්තාට බොරැල්ල මැගසින් බන්ධනාගාරය ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කරනු ලැබුවේ ඔහු විසින් බවටත් තොරතුරු විමර්ශනයේදී අනාවරණය වී තිබේ. ඒ අනුව පොලීසිය සේදවත්තේ කළ සෝදිසියකින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
ටී 56 අවිය යතුරුපැදියකින් පැමිණ භාර ගැනීමට සිටි පැදිකරුත් වෙඩික්කරුත් ගැන තොරතුරු හෙළිවන්නේ ඔහුගෙන් කළ ප්රශ්න කිරීම් හමුවේදීය. ඒ අනුව දෙමටගොඩ පිහිටි නිවසක් වටලා වෙඩික්කරු සමඟ පැමිණ ගිනි අවිය භාරගැනීමට සූදානමින් සිටි යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇත. ඒ වන විටත් ඔහු තුවාල ලබා සිටි බව පොලීසිය සඳහන් කළේය. ඔහු තුවාල ලබා ඇත්තේ ගිනි අවිය ලබාගෙන සමාජ ශාලාවේ ආරක්ෂකයා ඝාතනය කිරීමේ සුදානමින් කොල්ලුපිටිය වෙත ගමන් කරමින් සිටියදී ගාලුමුවදොර ආසන්නයේ දී යතුරුපැදිය බිම වැටී අනතුරට ලක්වන බැවිනි. වෙඩික්කරුද ඒ වන විට සිට ඇත්තේ යතුරුපැදියේ බව අනාවරණය වී ඇත. ඔහුද තුවාල ලබා තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ පොලීසියට ගිනි අවිය හසුවී ඇති බැවින් කොල්ලුපිටියට නොයන ලෙස චතූ නැමැත්තා ඩුබායි සිට ලබාදුන් දුරකතන ඇමතුමකට අනුව කලබල වී යතුරුපැදිය හරවා නැවත ගමන් කිරීමට සූදානම් වන විටදී බවද අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් යතුරුපැදිකරු පවසා ඇත්තේ 138 කොට්ටාව බසයකට කොළඹ කොටුවෙන් වෙඩික්කරු නැඟ ගමන් කළ බවය. තමා දෙමටගොඩට පැමිණි බවද ඔහු පවසා තිබේ. යතුරුපැදිය ඔහු දෙමටගොඩම පිහිටි සිය සහෝදරයාගේ නිවසේ සඟවා ඇත. එම යතුරුපැදිය සමඟ සහෝදරයාවද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
වෙඩික්කරු හඳුනාගනිමින් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බව පොලීසිය සඳහන් කළේය.
පොලිස් නිලධාරීන් පලායමින් සිටි සැකකරුවන් දෙදෙනා ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන ඇත. අනතුරුව ඔවුන්ගේ තොරතුරු මත තවත් තිදෙනෙකු කොටුකර ගෙන තිබේ. සැකකරුවන් පස් දෙනාම මාලිගාවත්තේ පදිංචිකරුවන්ය.
විමර්ශනයේදී පෙනීගොස් ඇත්තේ ගිනි අවිය තබාගෙන සිට ඇත්තේ වෙඩික්කරු රැගත් යතුරුපැදිය පැමිණෙන තුරු බවය. මෙම ගිනි අවිය සහිත බෑගය යතුරුපැදියකින් පැමිණෙන දෙදෙනකුට ලබාදීම පමණක් ඔවුන්ට පැවරී ඇති රාජකාරිය බව ද විමර්ශනයේදී පෙනීගොස් තිබේ. ඔවුන් දෙදෙනාව මෙහෙයවා ඇත්තේ කංජිපානි ඉම්රාන්ගේ පාතාල ජාලයේ පිරිස් බව මෙතෙක් කර ඇති විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
වනාතේ චතූ සහ දුමින්ද පාර්ශ්ව දෙක අතර ඇති මත්කුඩු අලෙවිය සම්බන්ධයෙන් වූ ආරවුලේ ප්රතිඵලයක් ලෙස සමාජ ශාලාව තුළදී දුමින්දගේ ගෝලයෙක් වූ බවුන්සර්වරයා ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බව විමර්ශනයේදී අනාවරණය වූ බව පොලීසිය පවසයි. මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්නෙ බවද පොලීසිය සඳහන් කළේය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart