September 8, 2025

මිද්දෙ­ණිය, තලාව, කාරි­ය­ම­ඩිත්තේ ඉඩ­මක වළදමා තිබි­යදී හමු වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පා­ද­නය කිරී­මට මෙර­ටට රැගෙන ආ බව කියන ද්‍රව්‍ය අඩංගු කන්ටේ­නර් දෙක ගැන අමෙ­රි­කානු බුද්ධි ඒජ­න්සි­යක් මඟින් මෙර­ටට කල් තියා දැනු­ම්දී­මක් කර ඇති බව පොලිස් තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

කන්ටේ­නර් අංක මෙන්ම මේ කන්ටේ­නර් දෙක ඉරා­නයේ ටෙහෙ­රාන් සිට මෙර­ටට එවා ඇති බවත්, ඒ තුළ අයිස් මත්ද්‍රව්‍ය තොග­යක් ඇති බවත් එම බුද්ධි තොර­තුරු මඟින් දැනුම්දී තිබේ.

මේ බුද්ධි ඒජ­න්සිය ඉන්දි­යාව කේන්ද්‍ර කර­ගෙන ක්‍රියා­ත්මක වන එකක් බවත්, මීට පෙර ද එම බුද්ධි අංශය විසින් සාර්ථක තොර­තුරු මෙර­ටට දී ඇති බවත් පොලිස් තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

මේ තොර­තුර එම බුද්ධි ඒජ­න්සිය විසින් දී ඇතැයි පැව­සෙන්නේ ඉකුත් වසරේ අග හෝ මේ වසරේ මුල­දීය. ඒ වන විටත් එම කන්ටේ­නර් දෙක වරා­යෙන් නිද­හස් කර තිබී නැත. මේ ගැන පොලිස් බල­ධා­රීන් වහාම ක්‍රියා­ත්මක වී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ ද සහාය ඇතිව රේගු භාරයේ තිබු එම කන්ටේ­නර් දැඩි පරී­ක්ෂා­ව­කට ද ලක්කර ඇති බව පොලිස් තොර­තුරු සඳ­හන් කළේය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශය මෙන්ම ශ්‍රී ලංකා රේගුව ද මේ කන්ටේ­න­ර්වල තිබූ යම් කුඩු වර්ග­යක් මත්ද්‍රව්‍ය පරීක්ෂා කරන උප­ක­රණ මඟින් පරීක්ෂා කර ඇති බව ද සඳ­හන්ය. එහෙත් එම උප­ක­රණ මඟින් එහි මත්ද්‍ර­ව්‍ය­යක් හෝ මත්ද්‍රව්‍ය නිෂ්පා­ද­න­යට යොදාගන්නා රසා­ය­නි­ක­යක් ඇති බව තහ­වුරු කර නැති බැවින් එම කන්ටේ­නර් මුදාහැරී­මට පිය­වර ගෙන ඇති බව මෙතෙක් කර ඇති විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී ඇත. මෙහි සාම්පල රජයේ රසපරී­ක්ෂක වෙත ද යොමුකර ඇති බව පැවසේ.

මේ කන්ටේ­නර් තුළ රැගෙන ආ ද්‍රව්‍ය කුම­ක්දැයි පැහැ­දිලි නැතත් මේ තුළ අයිස් කිලෝ 2000කට වැඩි ප්‍රමා­ණ­යක් ඇති බව බුද්ධි ඒජ­න්සිය මඟින් දැනු­ම්වත් කර තිබී ඇති බව ද පොලිස් ආරංචි මාර්ග අනා­ව­ර­ණය කළේය.

මේ කන්ටේ­නර් මෙර­ටදී පරී­ක්ෂා­වට ලක්කළ බවත්, එහි කිසිදු මත්ද්‍ර­ව්‍ය­යක් තිබී හමුනොවූ බවත් මෙර­ටින් අදාළ බුද්ධි ඒජ­න්සිය එක­ලම දැනු­ම්වත් කර ඇති බව ද පොලිස් තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

මේ කන්ටේ­න­රය මේ වසරේ ජන­වාරි 27 වැනිදා රේගු භාර­යෙන් මුදාහැර ඇති බව ද සඳ­හන්ය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ සේවයේ නිර­තව සිට මේ වන විට පොලිස් ක්ෂේත්‍ර බළකා මූල­ස්ථා­න­යට අනු­යු­ක්තව රාජ­කා­රියේ නිර­තව සිටින ප්‍රධාන පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යෙක් ද මේ කන්ටේ­නර් දෙකේ මත්ද්‍රව්‍ය ඇති බවට එහි අංක ද සහි­තව පොලි­ස්ප­ති­ව­ර­යාට තොර­තු­රක් යොමුකර ඇත. මේ බුද්ධි තොර­තුර පසු­ගිය අගෝස්තු මාස­යේදී යොමුකර තිබී ඇත්තේ ක්ෂේත්‍ර බළකා මූල­ස්ථා­නයේ අණදෙන නිල­ධා­රි­නිය ලෙස එකල සේවයේ නිර­තව සිටි වත්මන් නියෝජ්‍ය පොලි­ස්පති දර්ශිකා කුමාරි මඟිනි.

මේ සම්බ­න්ධ­යෙන් තොර­තුරු සොයාබලන ලෙස පොලි­ස්ප­ති­ව­රයා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශ­යට දැනුම්දී තිබී ඇති බව ද සඳ­හන්ය. එහිදී අදාළ තොර­තුරු පාර්ශ්ව වෙත පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ උසස් නිල­ධා­රි­යෙක් පවසා ඇත්තේ එම තොර­තුර ඊට කළින් තමන් වෙත ලැබුණු බවත්, කන්ටේ­නර් දෙක පරීක්ෂා කර කිසි­වක් නොවූ බැවින් මුදාහැරිය බවත්ය. එම තොර­තුර ව්‍යාජ තොර­තු­රක් බව ද එම උසස් නිල­ධා­රියා පවසා ඇතැයි පොලිස් තොර­තුරු සඳ­හන් කළේය. කන්ටේ­නර් දෙක නිද­හස් කර ගෙන ගියේ ‘බාස් කෙනෙක්’ බව ද එහිදී පවසා ඇත.

මේ කන්ටේ­නර් දෙක මෙර­ටට එවා ඇත්තේ කෙහෙ­ල්බ­ද්දර පද්මේ විසින් බවත්, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පා­ද­නය කිරී­මට මේ කන්ටේ­නර් තුළ රසා­ය­නික ද්‍රව්‍ය රැගෙ­න­විත් ඇති බවත් හෙළිකර ගන්නේ බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­ස­යෙනි. ඒ ඔවුන් භාරයේ සිටින ඉන්දු­නී­සි­යාවේ සිට රැගෙන ආ බැකෝ සම­න්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමු­වේ­දීය. බැකෝ සමන් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ, කෙහෙ­ල්බ­ද්දර පද්මේ විසින් මෙර­ටදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පා­ද­නය කිරී­මට සූදා­නම් වූ බවත්, ඒ සඳහා නුව­ර­එ­ළි­යෙන් නිවා­ස­යක් ද කුලි­යට ගත් බවත්ය. අයිස් නිෂ්පා­ද­නය සඳහා සහාය වීමට පකි­ස්තා­නු­වන් දෙදෙ­නෙක් ද මෙර­ටට ගෙන්වා ගත් බවත්ය. අයිස් නිෂ්පා­ද­නය සඳහා අවශ්‍ය රසා­ය­නික ද්‍රව්‍ය ඉරා­නයේ සිට මෙර­ටට ගෙන්වූ බවත්, එම කන්ටේ­නර් දෙක කොළඹ වරා­යෙන් නිද­හස් කිරී­මෙන් පසු මිද්දෙ­ණි­යට රැගෙන ගිය බවත් බැකෝ සමන් පවසා තිබේ. එම කන්ටේ­නර් දෙක සම්බ­න්ධ­යෙන් සොයාබැලී­මට පසු­ගිය සති අන්තයේ බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් මිද්දෙ­ණි­යට යන විට කන්ටේ­නර් දෙක තිබූ ස්ථාන­ව­ලින් අතු­රු­දන්ව ඇති බව පෙනීගොස් ඇත. විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වන්නේ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ප්‍රාදේ­ශීය සභා මන්ත්‍රී­ව­ර­යෙක් ලෙස 2019 වසරේ කට­යුතු කළ මේ වන විට ලී ව්‍යාපා­රි­ක­යෙක් ලෙස පෙනීසිටින පුද්ග­ල­යෙක් වන පියල් සේනා­ධීර නමැත්තා සහ ඔහුගේ සහෝ­ද­ර­යෙක් වන අඟු­ණු­කො­ළ­පැ­ලැස්ස ප්‍රාදේ­ශීය සභා­වට මෙර­වර පළාත් පාලන මැති­ව­ර­ණ­යට ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණෙන් තරග කළ සම්පත් ප්‍රීති විරාජ් මන­ම්පේරි යන දෙදෙනා විසින් කන්ටේ­නර් දෙක තිබූ ස්ථාන­යෙන් අස්ථානගත කර ඇති බවය.

ඒ සම්බ­න්ධ­යෙන් කළ දීර්ඝ විම­ර්ශ­න­ය­කදී හෙළි­වන්නේ කොහෙ­ල්බ­ද්දර පද්මේ විසින් නුව­ර­එ­ළියේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පා­ද­නා­ගා­ර­යක් පව­ත්වා­ගෙන ගොස් ඇති බවට වූ ප්‍රවෘ­ත්තිය ජනමාධ්‍ය­යෙන් ප්‍රසිද්ධ වීමත් සමඟ මොවුන් දෙදෙනා විසින් මේ කන්ටේ­නර් දෙක තාප්ප­ය­කින් වට කරන ලද හිස් ඉඩ­ම­කට රැගෙන ගොස් එහි වළක් කපා ඒ තුළට කන්ටේ­නර් දෙකේ ඇති ද්‍රව්‍ය දමාවසා ඇති බවය. එම ස්ථානය කොන්ක්‍රීට් කිරී­මට ද සූදා­නම් කර ඇති බව ද පොලිස් නිල­ධා­රීන්ට තොර­තුරු ලැබී තිබේ.

ඒ තැන හඳු­නා­ගත් බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් පසු­ගිය සිකු­රාදා එම ස්ථානයේ කැණී­මක් කර වළදමා තිබු යම් සුදු පැහැති කැට වර්ග­යක් මතුකර ගන්නේ ඒවා අයිස් නිෂ්පා­ද­න­යට රැගෙන ආ රසා­ය­නික ද්‍රව්‍ය බවට සැක මතුකර­මිනි. කන්ටේ­නර් දෙකේම කිලෝ 50,000ක පමණ වූ ප්‍රමා­ණ­යක් එම ද්‍රව්‍ය­වල තිබී ඇති බව පෙනීයන්නට විය.

මේ ස්ථාන­යට අන්ත­රා­ය­කර ඖෂධ පාලක ජාතික මණ්ඩ­ලයේ රසා­ය­නා­ගාර පරී­ක්ෂ­ක­ව­රුන් ගෙන්වා කළ පරී­ක්ෂා­වේදී සාම්පල් 20කින් 05කම අයිස් මත්ද්‍ර­ව්‍යය අඩංගු සංඝ­ට­ක­යක් වන මෙතැ­න්පි­ට­මින් තිබී ඇතැයි තහ­වුරු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක සහ­කාර පොලිස් අධි­කාරී, නීති­වේදී උදය කුමාර වුඩ්ලර් පැව­සීය.

වළදමා තිබු එම ද්‍රව්‍ය සියල්ල ගොඩ­ගෙන ඇති අතර, ඒ සියල්ල රසා­ය­නා­ගාර පරී­ක්ෂා­වක් සඳහා රජයේ රස පරී­ක්ෂක වෙත ද යොමුකිරී­මට පිය­වර ගෙන තිබේ.

ඒ අතර මේ කන්ටේ­නර් දෙකේ තිබු ද්‍රව්‍ය වළදැමී­මට සම්බන්ධ හිටපු ප්‍රාදේ­ශීය සභා මන්ත්‍රී පියල් සේනා­ධීර පෙරේදා (06) දහ­වල් අත්අ­ඩං­ගු­වට ගැනී­මට බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීහු සමත්වූහ. ඔහුගේ සහෝ­ද­රයා කොටුකර ගැනී­මට ඊයේ දිනයේ ද මෙහෙ­යු­මක් ක්‍රියා­ත්ම­කව පැව­තිණි. ඔහු ශ්‍රී ලංකා පොලී­සියේ සේවයේ නිර­තව සිටි නිල­ධා­රි­යෙක් බව ද සඳ­හන්ය. දෙමළ ජාතික සන්ධා­නයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී රවි­රාජ් නඩ­රාජ්ට නාරා­හේ­න්පි­ටදී වෙඩිතබා ඝාත­නය කිරීම සම්බ­න්ධ­යෙන් ද සැක­පිට ඔහුව එකල අත්අ­ඩං­ගු­වට ගෙන සිට ඇත. එවකට ඔහු ප්‍රභූ ආරක්ෂක ඒකකයක සේවය කර ඇත. පසුව ඔහු නිද­හස් වී ඇති බව ද පොලිස් තොර­තුරු අනා­ව­ර­ණය කළේය. ශ්‍රී ලංකා පොදු පෙර­මුණේ හිටපු මැති ඇමැ­ති­ව­රුන් රැසක් සමඟ ඉතා කිට්ටු­වෙන් මේ සැක­කරු ඇසුරු කර ඇති බව­ටත්, ඇතැම් දේශ­පා­ල­න­ඥ­යන්ගේ සම්බ­න්ධී­ක­රණ ලේකම් වශ­යෙන් ද මොහු කට­යුතු කර ඇති බව­ටත් තොර­තුරු ඇති බව සඳ­හන්ය.

කුප්‍රකට ‘ගජනායක කල්ලියට’ මොහු සම්බන්ධව සිටි බවටද පොලීසියට තොරතුරු ලැබී ඇත.

මේ අතර සිද්ධිය සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගැනුණු පොහොට්ටු අපේක්ෂක පියල් මනම්පේරි දින හතක් රඳවා ප්‍රශ්න කිරී­මට වල­ස්මුල්ල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය ඊයේ (07) අව­සර ලබා දී තිබේ.(දිනමිණ)