September 4, 2025

ඉහළ පෙළේ දේශපාලනඥයන් කිහිපදෙනෙකුට එරෙහි චෝදනා ඇතුළුව අල්ලස් පැමිණිලි 1,000කට අධික සංඛ්‍යාවක් පිළිබඳ විමර්ශන සිදුකෙරෙමින් පවතින බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

2025 ජනවාරි 1 සිට ජූලි 31 දක්වා කාලය තුළ, එම කොමිසම වෙත මුළු පැමිණිලි 3,937ක් ලැබී ඇති අතර, ඉන් 341ක් නැවත නැවත ඉදිරිපත් කර ඇත.

වලංගු පැමිණිලි අතරින් 2,682ක් පැමිණිලි කමිටුව වෙත යොමුකර අති අතර, 288ක් විධිමත් පරීක්ෂණ සඳහා යොමුකර තිබේ.

ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හෝ අල්ලස් පනතේ විෂය පථයෙන් බැහැරවීම හේතුවෙන් පැමිණිලි 1,011ක් අතහැර දමා ඇති අතර, 489ක් වෙනත් අදාළ ආයතන වෙත යොමුකර ඇත.

ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අතිරේක පැමිණිලි 275ක් විමර්ශන අංශය වෙත යොමුකර ඇතැයි අල්ලස් කොමිසම පවසයි.

එම කොමිසමට අනුව විමර්ශනය කිරීමට ඉතිරිව ඇති පැමිණිලි සංඛ්‍යාව 1,154 කි.

මේ අතර අල්ලස්, දූෂණ, වත්කම් ප්‍රකාශ නොකිරීම සහ පැහැදිලි කළ නොහැකි ධනය රැස්කිරීම් සම්බන්ධ නඩු 272ක් අධිකරණයේ විභාග වෙමින් පවතී.

කොමිසමේ විශේෂ විමර්ශන ඒකකය, රහස් බුද්ධි අංශය, දූෂණ විමර්ශන ඒකකය සහ වින්දිතයන් සුරැකීමේ ඒකකය විසින් සිදුකරන ලද විමර්ශනවලදී මේ වසරේ මේ දක්වා හිටපු අමාත්‍යවරුන් සහ ලේකම්වරුන් කිහිප දෙනෙකු ඇතුළු පුද්ගලයන් 40 කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව ද අල්ලස් කොමිසම පවසයි.

මීට අමතරව, මෙම වසරේ මුල් මාස හත තුළ කොමිෂන් සභාව විසින් අල්ලස් වැටළීම් 72 ක් සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් පිරිසට රාජ්‍ය නිලධාරීන් 43 දෙනකු සහ සිවිල් වැසියන් හයදෙනෙකු සහ පොලිස් නිලධාරීන් 17 දෙනකු ඇතුළත් වේ.

මෙම වසරේ ගතවූ කාලය තුළ අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන් 64 දෙනකුට එරෙහිව මහාධිකරණයේ නඩු 54ක් ගොනුකර ඇති අතර, ඒවාට අල්ලස් සම්බන්ධයෙන් නඩු 31ක්, දූෂණ 15ක් සහ පැහැදිලි කළ නොහැකි ධනය රැස්කිරීම් 8ක් ඇතුළත් වේ.

මූල්‍ය ඉපැයීම් අනුව ජනවාරි 1 සිට ජූලි 31 දක්වා නඩු පැවරීම්වලින් රජය උපයා ඇති ආදායම රුපියල් 2,120,500 ක් වේ.