May 14, 2026

ව්‍යාජ ණය අයදුම්පත් සහ ගිවිසුම් සකස් කිරීම සම්බන්ධයෙන් දළදා වීදියේ පෞද්ගලික බැංකු ශාඛාවක සේවකයන් නව දෙනෙකු මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නිලධාරීන් හය දෙනෙකු සහ නිලධාරිනියන් තිදෙනෙකු ඊයේ (13) මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

2012 සහ 2019 අතර කාලය තුළ වංචනික ණය ලේඛන ඉදිරිපත් කර ඇති බවට චෝදනා කරමින් 2022 අගෝස්තු 28 වැනිදා කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කරන ලදී.

එම කාලය තුළ ලබාගත් ණයවලට සම්බන්ධ ව්‍යාජ වාර්තා සකස් කිරීමට සැකකරුවන් සහාය සහ අනුබල දී ඇති බව පොලිසිය පවසයි.

වයස අවුරුදු 32ත් 58ත් අතර පසුවන සැකකරුවන් මහනුවර, පේරාදෙණිය, කටුගස්තොට, පුස්සැල්ලාව, හීරැස්සගල, කුරුණෑගල, පිළිමතලාව, හල්ඔළුව සහ ගුරුදෙණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ඔවුන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කරන ලද අතර, එහිදී එක් අයකුට රුපියල් 500,000 බැගින් ඇප නියම කරන ලදී.

නඩුව සැප්තැම්බර් 23 වැනිදා නැවත කැඳවීමට නියමිත අතර, විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.