May 26, 2026

පසුගිය මාස පහක කාලය තුළ ඌව පළාතෙන් පමණක් ළමා අපයෝජන සිද්ධීන් 80ක් වාර්තා වී ඇති බව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් තීක්ෂණා එදිරිසූරිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, ළමා අපයෝජනවලට ලක්වූ වින්දිත දරුවන් 604 දෙනෙකු පළාතේ ආයතන 18ක රඳවා තබා සිටීම බරපතළ කනස්සල්ලට කරුණක් බවයි.

මෙම දරුවන් ළමා නිවාස, සහතික කළ පාසල්, බාලිකා උපදේශන හා පුහුණු මධ්‍යස්ථාන සහ රැඳවුම් මධ්‍යස්ථාන භාරයේ පසුවන බව ඇය සඳහන් කළාය.

අනාරක්ෂිත දරුවන් හඳුනා ගැනීම සඳහා ඊයේ (25) උදෑසන බදුල්ල ප්‍රදේශයේදී බස් රථවල සහ පොදු ස්ථානවල QR කේතයක් සහිත ස්ටිකර් ඇලවීමේ මහජන දැනුවත් කිරීමේ වැඩසටහනක් පරිවාස දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන ලදී.

මෙම වැඩසටහන බදුල්ල පොලිසිය සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සහයෝගයෙන් ක්‍රියාත්මක කෙරුණි.

එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ වැල්ලවාය සහ මොනරාගල යන ප්‍රදේශවල ළමා අපයෝජන සිදුවීම් ඉහළ යමින් පවතින බවයි.

පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස්වරිය පැවසූ පරිදි, මේ වසරට අදාළව ළමුන් සම්බන්ධ නඩු 186ක් අධිකරණවල විභාග වෙමින් පවතී.

ඊට ලිංගික අපයෝජන සහ පැහැරගැනීම් පිළිබඳ නඩු 80ක් සහ ළමා භාරකාරත්වය හා ආරක්ෂාව සම්බන්ධ තවත් නඩු 60ක් ඇතුළත් වේ.

“ආරක්ෂාව අවශ්‍ය දරුවන් කල්තියා හඳුනා ගත්තොත් ඔවුන්ට ඇති විය හැකි අවදානම අවම කරගන්න පුළුවන්. දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අපගේ උත්සාහයට මහජන සහය ලබා ගැනීම සඳහා තොරතුරු සැපයිය හැකි QR කේතයක් සහ දුරකථන අංක හඳුන්වා දීමට අපි මෙම මහජන දැනුවත් කිරීමේ වැඩසටහන ආරම්භ කළා. දෙමාපියන් තම දරුවන්ට නිසි ආරක්ෂාවක් ලබා දීමට අපොහොසත් වීම නිසා බොහෝ දරුවන් අවදානමට ලක්ව තිබෙනවා,” යැයි කොමසාරිස්වරිය වැඩිදුරටත් පැවසුවාය.

මෙම අවස්ථාවට බදුල්ල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක (HQI) ප්‍රධාන පොලිස් පරීක්ෂක චානක චිරංජීව විජේරත්න සහ ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති සේනක ප්‍රනාන්දු යන මහත්වරු ද සහභාගී වූහ.