June 21, 2026

ලංකා පොහොර සමාගමට අයත් අරමුදල් අවභාවිත කරමින් රජයට රුපියල් මිලියන 8.8කට අධික පාඩුවක් සිදුකළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, තමන් එම චෝදනාවලට නිවැරදිකරු බව මේ සතියේදී කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවෙල ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබූ අතර, එහිදී විත්තිකරුට එරෙහි චෝදනා කියවා දෙනු ලැබීය.

ඒ අනුව, නඩුවේ පළමු සාක්ෂිකාරිය වූ පොහොර සංස්ථාවේ හිටපු සේවිකාවක වන ධම්මිකා පෙරේරා සාක්ෂි දීම සඳහා කැඳවනු ලැබූ අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අතිරේක අධ්‍යක්ෂ අසිත ඇන්තනි මහතා විසින් මෙහිදී සාක්ෂි මෙහෙයවන ලදී.

ජාතික සේවක සංගමයේ හිටපු වෘත්තීය සමිති නිලධාරිනියක වන පෙරේරා උසාවිය හමුවේ කියාසිටියේ, මීට වසර 11කට පෙර තමන් විසින් යවන ලද ඊමේල් පණිවිඩයක් සම්බන්ධයෙන් සාක්ෂි දෙන ලෙස තමන්ට දන්වා තිබූ බවයි.

එම ඊමේල් පණිවුඩය එවකට ජාතික සේවක සංගමයේ සභාපතිවරයාව සිටි එඩ්වඩ්ගේ ඉල්ලීම පරිදි තමන් විසින් යවන ලද්දක් බව ඇය උසාවියට පැවසුවාය.

එඩ්වඩ්ට ඊමේල් පණිවුඩයක් යැවීමට නොහැකි බව පවසා ඒ සඳහා තමන්ගේ සහාය ඉල්ලා සිටි බවත්, එම පැමිණිල්ලේ අඩංගු කරුණු සත්‍ය ද නැද්ද යන්න පිළිබඳව තමන් නොදන්නා බවත් පෙරේරා මෙහිදී සඳහන් කළාය.

විත්ති පාර්ශවයේ නීතිඥවරුන් විසින් ඇයගෙන් හරස් ප්‍රශ්න ඇසීමක් සිදුනොකෙරිණි.

විත්තිකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ නාලින්ද ඉන්දතිස්ස සමඟ නීතිඥ අකලංක උක්වත්ත පෙනීසිටියහ.