May 28, 2026

මැදපෙරදිග පවතින සන්නද්ධ ගැටුම් සඳහා භාවිත කරන ඩ්‍රෝන යානා සහ මිසයිලවල ඡායාරූප මෙන්ම වීඩියෝ දර්ශන සිය ජංගම දුරකථනවල ගබඩා කර තබා ගැනීම සහ ඒවාට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දැක්වීමේ චෝදනා මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි ශ්‍රී ලාංකික තරුණයන් හත්දෙනෙකු එරටින් පිටුවහල් කිරීමෙන් පසු ඊයේ (27) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ.

මෙම පිරිස අබුඩාබි නුවර සිට පැමිණි ‘එයාර් ඇරබියා’ සමාගමට අයත් 3L-708 දරන ගුවන් යානයෙන් ඊයේ රාත්‍රී 9.25ට පමණ කටුනායක, බණ්ඩාරනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වී ඇත.

මෙසේ පිටුවහල් කර මෙරටට එවා ඇති පුද්ගලයන් වන්නේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ඉසුරු ප්‍රදීප් ද සොයිසා, මාරපන ප්‍රදේශයේ 23 හැවිරිදි නිලංක නාමල් අබේවර්ධන, බණ්ඩාරගම ප්‍රදේශයේ 33 හැවිරිදි ගිහාන් ධනුෂ්ක, බොරැල්ල ප්‍රදේශයේ 23 හැවිරිදි හේවාගේ කලණ තත්සර ජයරත්න, බොරැල්ල ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි මනෝරත්න ආරච්චිගේ ඉෂාන් හර්ෂ ප්‍රියන්ත, පොළොන්නරුව ප්‍රදේශයේ 25 හැවිරිදි ෂහීන් අෆ්රාන් නිලාව්දීන් සහ වත්තල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ෆස්ලූන් නිසාර් අබ්දුල් නසාර් යන අයයි.

ඔවුන් දිවයිනට පැමිණීමෙන් පසු, ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්, රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව මොවුන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක පාතාල කල්ලි ක්‍රියාකාරකම්, සංවිධානාත්මක අපරාධ ජාල හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් සමඟ සබඳතා පවත්වන්නේද යන්න සෙවීම සඳහා පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

මෙම සිද්ධියටම අදාළව මීට පෙර අත්අඩංගුවට ගත් 21 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද පසුගිය මැයි 22 වැනිදා වෙනත් ගුවන් යානා දෙකකින් මෙරටට පිටුවහල් කර තිබිණි.

එම පිරිස සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ඉන්ටර්පෝල් රතු නිවේදන නිකුත් කර සිටි පුද්ගලයන්, පාතාල සබඳතා පවත්වන්නන්, මත්ද්‍රව්‍ය චෝදනා ලැබූවන් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් හඳුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව දැනටමත් නීතිමය පියවර ගෙන ඇති බව බලධාරීහු පවසති.

දැන් මෙරටට පැමිණි නවතම තරුණයන් හත්දෙනා ද ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඔවුන් පදිංචි ප්‍රදේශවල පිහිටි අදාළ පොලිස් ස්ථාන වෙත භාර දීමට කටයුතු යොදා ඇත.