April 4, 2025

මාරක රිය අනතුරු හේතුවෙන් මෙම වසරේ ගතවූ මාස තුන ඇතුළත පුද්ගලයන් 590කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

කොළඹදී පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් රථවාහන අංශයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ කියාසිටියේ, මේ වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ මාරක රිය අනතුරු 565ක් වාර්තා වී ඇති අතර, ඉන් පුද්ගලයන් 592 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ රිය අනතුරු අවම කර ගැනීමට පියවර ගත යුතු බව සඳහන් කළ ඔහු, ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටියේය.

සාමාන්‍යයෙන් දිනකට පුද්ගලයන් 7ත් 8ත් අතර සංඛ්‍යාවක් රට පුරා රිය අනතුරුවලින් මියයන බව නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පෙන්වාදෙයි.

මෙම අනතුරුවල පවතින ඛේදනීය යථාර්ථය ඉස්මතු කරමින් නියෝජ්‍ය පොලිස්පති හපුගොඩ ප්‍රකාශ කළේ, සාමාන්‍යයෙන් දෛනික විවිධ අවශ්‍යතා සඳහා නිවසින් පිටව යන පුද්ගලයන් 7-8ක් මාරක රිය අනතුරු හේතුවෙන් යළි නිවසට යළි නොඑන බවයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අනුව 2024 දෙසැම්බර් වන විට ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි වාහන 8,454,513ක් තිබේ.

මේවායින් බහුතරයක් යතුරුපැදි වන අතර එය දළ වශයෙන් මිලියන 4.92 ක් පමණ වේ.

ත්‍රිරෝද රථ මිලියන 1.185 ක් පමණ ලියාපදිංචි වී ඇති එය ලියාපදිංචි වාහන අතර දෙවන විශාලතම කාණ්ඩයයි.

යතුරුපැදි සහ ත්‍රිරෝද රථ මෙරට ලියාපදිංචි කර ඇති සමස්ත වාහනවලින් 72%ක් නියෝජනය කරන බවත්, ඒ හේතුවෙන් වැඩිම රිය අනතුරු සංඛ්‍යාවකට එම වාහන සම්බන්ධ බවත් නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පෙන්වා දුන්නේය.

2023 වසරේ දී මාරක අනතුරු 2,231 ක් සිදුවී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සිදුව ඇති පුද්ගල මරණ ගණන 2,341 කි.

ඊට සාපේක්ෂව 2024 දී මාරාන්තික අනතුරු 2,403 ක් වාර්තා වී ඇති අතර එමඟින් මරණ 2,521 ක් වාර්තා වී තිබේ.