April 7, 2024

2020 – 2023 අතර කාලය තුළ මෙරට බන්ධනාගාරවල සිරගතව සිටි සැකකරුවන් සහ වැරදිකරුවන් වූ පුද්ගලයන් 61 දෙනෙකු ගෙළ වැලළාගෙන ඇති බව අනාවරණ වී තිබේ.

ඒ, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ ගොනුකරන ලද අයදුම්පතකට ප්‍රතිචාර වශයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුවයි.

තොරතුරු නිකුත් කර ඇති වසර හතර තුළදී සිරකරුවන් 631 දෙනෙකු බන්ධනාගාරය තුළ මියගොස් ඇත.

ඔවුන්ගෙන් බහුතරයක් පිරිමි පුද්ගලයන් වූ අතර කාන්තාවන් 18 දෙනකු ද එලෙස මියගිය පිරිස අතර වෙයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව, බන්ධනාගාර තුළ සිටියදී මියගිය පුද්ගලයින්ගෙන් 357 දෙනෙකු වරදකරුවන් වූ සිරකරුවන් නොව සැකකරුවන්ය.

ඇතැම් මරණවලට හේතු වූ කරුණු පිළිබඳ තොරතුරු දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති අතර, එහිදී ගෙළ වැලළාගෙන මියයාම් රැසක් පවතින බව අනාවරණය වේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව 2020 වසරේදී එලෙස ගෙළ වැලළාගැනීම් සංඛ්‍යාව 18 ක් වේ.

2021-2022 වසරවලදී එක් වසරකට 14 බැගින් සහ පසුගිය වසරේදී බන්ධනාගාර තුළ ගෙළ වැලළා ගැනීම 15 ක් බව ද අදාළ දත්තවල සඳහන් වේ.

මීට අමතරව 2020 වසරේදී මහර උපරිම ආරක්‍ෂිත බන්ධනාගාරයේ හට ගත් ගැටුම්වලින් සිරකරුවන් 11 දෙනෙකු මියගොස් ඇත.

අනුරාධපුර බන්ධනාගාර කැරැල්ලේදී වෙඩිතබා දෙදෙනෙක් මියගොස් තිබේ.

වැසි දිනක විදුලි රැහැනක් වැටී විදුලි සැර වැදීමෙන් එක් සිරකරුවෙකු මියගොස් ඇත.

මීගමුව බන්ධනාගාරය තුළ එක් අයකු සෙසු රැඳවියන් විසින් පහරදී ඝාතනය කර ඇති අතර අනෙක් මරණ වයෝවෘද්ධභාවය සහ රෝගාබාධ හේතුවෙන් සිදුවූ මරණ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

2021 සහ 2022 වසරවලදී ගෙළ වැලළාගැනීම්වලට අමතරව, මහලුවිය සහ රෝගාබාධ ද සිරකරුවන්ගේ මරණවලට හේතු වී තිබේ.

පසුගිය වසරේ මහනුවර පල්ලෙකැලේ බන්ධනාගාරයෙන් පළායමින් සිටියදී සිරකරුවන් තිදෙනකු මහවැලි ගඟේ ගිලී මියගොස් ඇත.

කෑගල්ල බන්ධනාගාරයෙන් පළායෑමට තැත්කළ තවත් අයෙක් වෙඩිතබා ඝාතනය කර තිබේ.

තවත් අයෙක් පල්ලන්සේන බන්ධනාගාරයේ සීමාවෙන් පළාගොස් පොල් ගසකට නැගීමේදී ඉන් ඇද වැටී මියගොස් ඇත.

එම වසර හතර තුළ වාර්තා වන සිරකරු මරණවලින් 203 ක් වාර්තා වී ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේදීයි.

එම බන්ධනාගාරයේ සිදුවූ සිරකරු මරණවලින් 2020 දී 68 ක්, 2021 දී 55 , 2022 දී 41 දක්වා සහ පසුගිය වසරේ 39 දක්වා ක්‍රමයෙන් අඩු වී තිබේ.