July 16, 2026

පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා පිහිටි පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර ඉලක්ක කරගනිමින් විශේෂ වැටලීම් මාලාවක් ක්‍රියාත්මක කර තිබේ.

සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ මෙම විශේෂ මෙහෙයුමේදී වැටලීම් 52ක් සිදුකර ඇති අතර, එහිදී රෝගීන්ගේ පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා භාවිත කරන වෛද්‍ය රසායනාගාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් බරපතළ අනනුකූලතා රැසක් අනාවරණය කර ගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව ඇත.

දිවයිනේ ප්‍රධාන පෙළේ පුද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර ද මෙහිදී දැඩි පරීක්ෂාවට ලක්කර තිබේ.

එහිදී රෝගී පරීක්ෂණ සඳහා භාවිත කරන ඇතැම් රසායනාගාර ද්‍රව්‍ය සහ උපකරණ කල් ඉකුත්වීම හේතුවෙන් භාවිතයට නුසුදුසු තත්ත්වයේ පැවතීම, ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු පැවතීම සහ භාවිතයේ පවතින ද්‍රව්‍ය සමඟ කල් ඉකුත් වූ ද්‍රව්‍ය ද එකට ගබඩා කර තිබීම වැනි බරපතළ වැරදි රැසක් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

මෙම විමර්ශනවලදී භාවිතයට නුසුදුසු තත්ත්වයේ තිබී සොයාගෙන, නිලධාරීන් භාරයට ගත් ද්‍රව්‍ය අතර මෙන්න මේවා වේ:

– රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීමට ගන්නා මෙවලම් කට්ටල (Glucometer Test Kits)

– ඩෙංගු රෝග විනිශ්චය සඳහා භාවිත කරන පරීක්ෂණ කට්ටල (Dengue Rapid Test Kits)

– විවිධ වර්ගයේ රසායනාගාර රසායනික ද්‍රව්‍ය

– හෘද රෝගීන් සඳහා භාවිත කරන ජෙල් වර්ග (ECG/Ultrasound Gel)

– වෛද්‍ය පරීක්ෂණ සඳහා භාවිත කරන විවිධ වර්ණක ද්‍රාවණ සහ රසායන ද්‍රව්‍ය

මෙහිදී අනාවරණය වූ නීතිවිරෝධී ක්‍රියාකාරකම් සහ වැරදි සම්බන්ධයෙන් අදාළ පෞද්ගලික රෝහල් සහ රසායනාගාරවලට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ ඉදිරියේදී දැඩිව නීතිමය පියවර ගැනීමට නියමිතය.