November 2, 2026

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා විදුලි යතුරුපැදි 430ක් ලබාදීමට ඉන්දියාව එකඟතාව පළකර තිබේ.

ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා සහ ධීවර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස අත්සන් තැබූහ. එම අවස්ථාවට ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්ද එක්ව සිටියේය.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට අනුව මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රජය රුපියල් මිලියන 265ක (කෝටි 26.5ක) ප්‍රදාන ආධාරයක් ලබාදීමට නියමිතය.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) ඇතුළු ආයතනවල ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා මෙම යතුරුපැදි ලබාදීමට නියමිත බව සඳහන් වේ.

ධීවර නිලධාරීන්ට විදුලි යතුරුපැදි ලබාදීමට ඉන්දියාව ඉදිරිපත් වුවද, ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී මසුන් ඇල්ලීමේ ගැටලුවට විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය රජයේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවන බවටද උතුරේ ධීවරයන් අතර විවේචන පවතී.