July 19, 2026

මෙරට විශාලතම සමූහ මිනීවළ වන යාපනයේ චෙම්මනි සමූහ මිනීවළේ මේ වන විට සිදුකර ඇති කැණීම්වලින් මානව ඇටසැකිලි 423 ක් ගොඩගෙන ඇති පසුබිමක, යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් එළඹෙන බදාදා (23) එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිතය.

යුරෝපා සංගමයේ තානාපති කාමන් මොරේනෝගේ නායකත්වයෙන් යුත් මෙම නියෝජිත පිරිසට පහත තානාපතිවරුන් ඇතුළත් වේ:

– ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවිග්
– ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන්
– ප්‍රංශ තානාපති රෙමී ලැම්බර්ට්
– නෙදර්ලන්ත තානාපති වීබේ ඩී බෝර්

මෙම නියෝජිත පිරිස අඟහරුවාදා (21) උතුරු පළාතේ සංචාරය කිරීමට නියමිතව ඇත. චෙම්මනි සමූහ මිනීවළට අදාළ නඩුව පසුගිය සතියේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී, මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා අධිකරණයේ අවසරය ඉල්ලා අයැදුම්පතක් ද ඉදිරිපත් කර තිබිණි.

යාපනය නගරයට ඇතුළු වන ස්ථානයේ පිහිටා ඇති චෙම්මනි සමූහ මිනීවළ පිළිබඳව මුලින්ම කරුණු අනාවරණය වූයේ 1998 වසරේදීය. ඒ, පාසල් දැරියක වූ ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඇතුළු තිදෙනෙකු හමුදා සාමාජිකයින් විසින් පැහැරගෙන ගොස්, සමූහ දූෂණයට ලක්කර ඝාතනය කිරීමේ සිදුවීමත් සමඟිනි.

සුසාන භූමියක් අසල වැටක් ඉදිකිරීම සඳහා වළක් කැපීමේදී කම්කරුවන්ට මානව අස්ථි කොටස් හමුවීමත් සමඟ පසුගිය පෙබරවාරි මාසයේදී මෙම නවතම කැණීම් කටයුතු ආරම්භ විය. යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ අධීක්ෂණය යටතේ, පුරාවිද්‍යාඥයින්, අධිකරණ වෛද්‍ය නිලධාරීන් සහ යාපනය නීතීඥ සංගමයේ නීතීඥවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම කැණීම් කටයුතු අදියර කිහිපයක් යටතේ දැනට ක්‍රියාත්මක වේ.

සිකුරාදා (17) වන විට තවත් මානව අස්ථි කොටස් 11ක් හඳුනාගත් අතර, ඒ සමඟින් සමස්ත ඇටසැකිලි සංඛ්‍යාව 423 දක්වා ඉහළ ගියේය.

මෙම කැණීම් ක්‍රියාවලිය අතරතුරදී ස්වර්ණාභරණ සහ විසිතුරු භාණ්ඩ ඇතුළු පුරාවස්තු රැසක් ද සොයාගෙන ඇති අතර, ඒවා මේ වන විට අධිකරණ භාරයේ තබා ඇත.

අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට අනුව, ලැබී ඇති මුළු අතුරුදන්වූවන්ගේ පැමිණිලි 22,000න් 6,000කට අධික සංඛ්‍යාවක් උතුර සහ නැගෙනහිර පළාත්වලින් වාර්තා වී ඇත.