June 27, 2026

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ (FIFA World Cup) තරග නීතිවිරෝධී ලෙස අන්තර්ජාලය ඔස්සේ සජීවීව විකාශය කළ වෙබ් අඩවි (Internet Domains) 400 කට ආසන්න සංඛ්‍යාවක් තහනමට ගෙන තමන් සන්තකයට ගැනීමට ඇමරිකානු බලධාරීන් පියවර ගෙන තිබේ. අන්තර්ජාල මංකොල්ලයට එරෙහිව දියත් කළ දැවැන්ත මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම පියවර ගෙන ඇත.

ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA), NBCUniversal සහ Warner Bros. Discovery යන ආයතනවල සහාය ඇතිව මෙම නීතිවිරෝධී වෙබ් අඩවි හඳුනාගත් බවයි. ලෝක කුසලාන තරගවල නිල විකාශන අයිතියෙන් බැහැරව, අවසරයකින් තොරව සජීවී දර්ශන ලබාදීමට මෙම අඩවි භාවිතා කර තිබේ.

මෙම මෙහෙයුමේදී ප්‍රධාන වශයෙන්ම පේරු සහ බල්ගේරියාව යන රටවල පිහිටි සර්වර් සහ වෙබ් අඩවි ඉලක්ක කර ඇති අතර, ඊට අමතරව ක්‍රොඒෂියාව, රුමේනියාව, පෝලන්තය සහ කොලොම්බියාව යන රටවල ද මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

“ලොව විශාලතම ක්‍රීඩා මහෝත්සවයක් පැවැත්වෙන අතරතුර, එහි විකාශන අයිතිය උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස මුදල් ඉපැයූ ජාත්‍යන්තර ජාලයන් බිඳදැමීමට මෙම මෙහෙයුම හරහා හැකි වුණා,” යැයි ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දේශීය ආරක්ෂක විමර්ශන අංශයේ විශේෂ නියෝජිත එරික් වේන්ඩෝර්ෆ් අනතුරු අඟවමින් කියා සිටියේ, මෙවැනි නීතිවිරෝධී වෙබ් අඩවි මගින් ප්‍රකාශන හිමිකම් නීති උල්ලංඝනය වනවාට අමතරව, ඒවා පරිශීලනය කරන්නන්ගේ පුද්ගලික සහ මූල්‍ය දත්ත සොරකම් කරන පරිගණක වෛරස් (Malware) පැතිරීමේ දැඩි අවදානමක් ද පවතින බවයි.

ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර ෆිෆා (FIFA) ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පසුගිය ජුනි 11 වනදා ආරම්භ වූ අතර එය ජූලි 19 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.