June 4, 2026

ගාල්ල ප්‍රදේශයේ සිදුවූ සොරකමක් පිළිබඳ චෝදනාවක් එල්ල වූ 16 බාලවයස්කරුවෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ සාමාජිකයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම බාලවයස්කාර සිසුවාට දරුණු ලෙස පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර තිබේ.

පොලිස් වාර්තාවලට අනුව, ගාල්ල පොලිස් වසමේ සිදුවූ දේපළ සොරකමක පැමිණිල්ලකට අදාළව බෙරලපනාතර, දණ්ඩෙනියකන්ද ප්‍රදේශයේ පදිංචි මෙම 16 හැවිරිදි සිසුවා මුලින්ම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව ජූනි 3 වනදා ඔහුව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, දැනට ඔහු බන්ධනාගාර ආරක්ෂාව යටතේ කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවේ.

සොරකම පිළිබඳ පැමිණිල්ල සිදුකළ පාර්ශවය විසින්ම තම පුත්‍රයාට මෙලෙස අමානුෂික ලෙස වධහිංසා පමුණුවමින් පහරදී ඇති බවට සිසුවාගේ මව විසින් පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබිණි.

මෙම විමර්ශන සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වූ වීඩියෝ දර්ශන ද පොලිස් නිලධාරීන් විසින් සාක්ෂි ලෙස උපයෝගී කරගෙන ඇත.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් වන්නේ සොරකම පිළිබඳ මුල් පැමිණිල්ල සිදුකළ 40 හැවිරිදි කාන්තාව, ඇයගේ 47 හැවිරිදි සැමියා, 19 හැවිරිදි පුත්‍රයා සහ 17 හැවිරිදි දියණියයි. මොවුන් සියලුදෙනා ගාල්ල, මිලිද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අද දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිදුවූ බව පැවසෙන සොරකම මෙන්ම බාලවයස්කාර සැකකරුට සිදුකළ අමානුෂික පහරදීම සම්බන්ධයෙන් ද ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.