December 8, 2023

30,000ක පමණ පිරිසක් 2021 වසරේ සිට ත්‍රිවිධ හමුදාව හැරගොස් ඇති බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව ඊයේ අනාවරණ කළේය.

හමුදාවට ආහාර සපයන්නන්ගේ හිඟ ගෙවීම් පියවීම සඳහා යොදා ගැනීමට නියමිත රුපියල් බිලියන 16.5ක පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ සාකච්ඡාවට බඳුන් වූ අවස්ථාවේදී මේ බව අනාවරණ විය.

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමට සහභාගී වූ ආරක්ෂක හමුදා නිලධාරීන් දන්වා සිටියේ එක් ආරක්ෂක අංශ සාමාජිකයකුට දිනකට කැලරි 3400ක් ලබාදිය හැකි ආහාර අවශ්‍ය බවයි.

ආරක්‍ෂක අංශවලට අවශ්‍ය පෝෂණය සැපයීම සඳහා ආහාර මිලදී ගැනීම අපහසු බව ඔවුන් රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව වෙත දන්වා තිබිණි.

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ ප්‍රධානී හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා එම අරමුදල් ඵලදායි ලෙස භාවිත කරන බවට සහතික වියයුතු බව අවධාරණය කළේය.

අල්ලස් කොමිසමේ සභාපතිවරයාගේ වැටුප් වැඩිවීමක් ද රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව විසින් අනුමත කරන ලදී.

කෙසේවෙතත්, අල්ලස් කොමිසමේ සභාපතිවරයාට ගෙවන වැටුප අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ වැටුපට සමාන විය යුතු බව ආචාර්ය ද සිල්වා මන්ත්‍රීවරයා පැවසීය.

ඊට අමතරව රජයට අවම පාඩුවක් සහිතව නිෂ්කාශනය නොකළ වාහන 263ක් නිදහස් කළ හැකි ක්‍රියා පටිපාටියක් සකස් කරන ලෙස රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව රේගුවෙන් ඉල්ලා සිටියේය.