July 6, 2025

හිටපු ඇමැති චාමර සම්පත් දසනායකගේ මැදිහත්වීමෙන් ආරම්භ කළ නීතිවිරෝධී ව්‍යාපෘතියකින් අමෙරිකානු ඩොලර් මිලියන 300කට වැඩි මුදලක් රටට අහිමි කරමින් අරුවක්කාලුහි ඉහළ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත භූමියක් විනාශ කරමින් පවතින බව ‘සිළුමිණ’ වාර්තා කරයි.

එම වාර්තාවට අනුව, ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් ඉඩමක මේ ව්‍යාපෘතිය සිදුකරන්නේ ඛනිජ කැණීම් පිළිබද විශේෂඥතාවක් නැති සමාගමකි. එම සමාගම හිටපු ඇමැතිවරයකු වන සුසන්ත පුංචිනිලමේගේ ඥාතියකුට අයත්ය. මේ ව්‍යාපෘතිය සඳහා අනුමැතිය දෙන ලෙස ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් චාමර සම්පත් දසනායක විසින් ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ලිපියක් යවා ඇත. එම ලිපියේ මෙසේ සදහන් වේ.

‘මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සදහා ආශා මිනරල්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විසින් ඉදිරිපත් කළ ව්‍යාපෘති වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන ලදි. එහිදී එම ව්‍යාපෘතිය රටට වැඩදායක ලෙස මතුපිට පස් තට්ටුව නිස්සාරණය කර අගය වැඩි කළ ඛනිජ ද්‍රව්‍ය ලෙස අපනයනය කිරීමට එකී යෝජනාව ක්‍රියාත්මක කිරීම සුදුසු බව මා විසින් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දැනුවත් කරන ලදි.’

මේ ලිපියෙන් පසු ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ එවකට සභාපති ජී.එල්.ජේ.එස්. ධර්මප්‍රිය විසින් 2024 ජනවාරි 04 වැනිදා මේ භූමිය වසර 50ක කාලයකට බද්දට ගෙන ඇති සියෑම් සිටි සිමෙන්ති ලංකා සමාගමේ සභාපතිවරයා වෙත ලිපියක් යවා තිබේ. සියෑම් සිටි සිදුකිරීමට සැලසුම් කළ ව්‍යාපාර මේ භූමියේ නොකිරීම නිසා පසුගිය වසර කිහිපයේදී ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක මුදලක් රටට අහිමි වී ඇති බවද අනාවරණය වේ. සියෑම් සිටි සමාගම වෙත සිමෙන්ති සංස්ථාවේ සභාපතිවරයා යැවූ ලිපියේ සඳහන් කර ඇත්තේ ආශා මිනරල් නම් අදාළ සමාගම සමග තිබූ ගැටලු සාකච්ඡා මඟින් අවසන් කරගත් බවයි. එසේම නව ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ද එමගින් උපදෙස් දී ඇත.

එම ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ:

‘තවද ගරු අමාත්‍ය චාමර සම්පත් දසනායක ඇමැතිතුමාද මේ පිළිබදව නිතර සිහිපත් කරන අතර, ව්‍යාපෘතිය කඩිනම් ව කරන්නේ නම් එතුමා දැඩි සතුටට පත්වනු ඇත.’

ආශා මිනරල්ස් සමාගමේ සේවය කළ අයකු විසින් ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයක සඳහන් වන්නේ, මේ සමාගම මඟින් පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ප්‍රදේශවල කැණීම් කටයුතු සිදුකරන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස පුරාවස්තුවලට සහ ආරක්ෂිත කලාපවලට හානි සිදුවූ බව තමන් නිරීක්ෂණය කළ බවත්ය. මේ ව්‍යාපෘතිය මඟින් සිදු කළ නීතිවිරෝධී කටයුතු රැසක් පිළිබදවද අදාළ දිවුරුම් ප්‍රකාශයේ දැක්වේ. මේ ව්‍යාපෘතිය සදහා භූවිද්‍යා හෝ පරිසර අනුමැතීන් කිසිවක් ලබාගෙන නැති බවද අධිකරණයට ඉදිරිපත් කර ඇති ලිපිගොනුවල සදහන්ය.

මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ SC/FR/146/2024 අංක දරන මූලික අයිතිවාසිකම් පෙත්සමද ගොනුකර ඇති අතර, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවටද මේ නීතිවිරෝධී ව්‍යාපෘතිය පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ‘සිළුමිණ’ කළ විමසීමකට පිළිතුරු දෙමින් ප්‍රාථමික කර්මාන්ත විෂය බාර හිටපු රාජ්‍ය ඇමැති, වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසා ඇත්තේ, මේ ව්‍යාපෘතිය පිළිබදව දැන් තමන්ට මතකයක් නැති බවයි. එම නිසා අදාළ ව්‍යාපෘතිය පිළිබදව යොමුකරන ප්‍රශ්නවලට පිළිතුරු දීමේ හැකියාවක් නැති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.