June 29, 2023

මෙම වසරේ අප්‍රේල් මාසයේ දී සීමාවාසික වෛද්‍ය පුහුණුව අවසන් කළ වෛද්‍ය උපාධිධාරීන් 1,400 න් 300 ක් පමණ වෛද්‍ය පත්වීම් ලබාගෙන නැතැයි හිටපු ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

මේ වන විට රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දරුණු තත්ත්වයකට මුහුණ දී සිටින බව ද මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) ලියාපදිංචිය ලබාගත හැකි වන්නේ, සීමාවාසික පුහුණුව සම්පූර්ණ කිරීමෙන් පසුව පමණක් බව ද ඔහු පවසයි.

නවතම ගැටලුව වන්නේ දේශීය විශ්වවිද්‍යාලවලින් පිටවන වෛද්‍ය උපාධිධාරීන් සීමාවාසික පුහුණුව නොලබා රට හැරයෑම බවත්, ඔවුන් රට හැරයෑම වැළැක්වීමට රජය පියවර ගත යුතු බවත්, මන්ත්‍රීවරයා සඳහන් කරයි.

වෛද්‍යවරුන් 18,600ක ප්‍රමාණයෙන් 1500-1700 අතර ප්‍රමාණයක් රැකියා හැරගොස් ඇති අතර, වෛද්‍යවරුන් 748 ක් ලබන මාසය වන විට විශ්‍රාමයෑමට නියමිත බව ද ඔහු පෙන්වාදෙයි.

විදේශ පුහුණුවට ගොස් ඇති වෛද්‍යවරුන් ආපසු නොපැමිණෙන බවද මන්ත්‍රීවරයා පවසයි.

පුහුණු කාර්ය මණ්ඩලයේ හිඟය, ඖෂධ හිඟය සහ වෛද්‍ය උපකරණවල හිඟය හේතුවෙන් රෝහල් පද්ධතිය කඩා වැටීමේ අද්දර පවතින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.