September 27, 2025

ගොවිජන සංවර්ධන නිලධාරියකු, කළමනාකරණ සහකාරවරියක සහ ආරක්ෂක නිලධාරිනියක අල්ලස් නිලධාරීන් විසින් සිදුවීම් දෙකකකට අදාළව අත්අඩංගුවට ගෙන තිබේ.

කුඹුරක් අසල මාර්ගයේ කන්ටේනරයක් තැබීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමෙන් වැළකී සිටීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 25,000ක අල්ලසක් ලබා ගනිමින් සිටියදී ගොවිජන සංවර්ධන නිලධාරිනියක දෙනියාය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට පහසුකම් සැලසීම සඳහා සමන්තුරේ ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් 10,000ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කළමනාකරණ සහකාරවරිය සහ ආරක්ෂක නිලධාරිනිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාරවරියක සහ මහරගම ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ ප්‍රධාන දොරටුවේ ආරක්ෂක නිලධාරිනියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරවක සහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.