June 4, 2026

එල්.ටී.ටී.ඊ. සංවිධානය අගයමින් ගායනා කරන ලද ගීත ඇතුළත් වීඩියෝ පට සමාජ මාධ්‍ය වෙත මුදාහළ බව කියන 24 හැවිරිදි තරුණයකු යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිලිනොච්චිය, උදයනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු පසුගිය මැයි 31 වැනිදා චාවකච්චේරිය, නාවට්කුලි ප්‍රදේශයේ පැවැති සංගීත ප්‍රසංගයකදී ගායනා කරන ලද ගීත හතරක්, එල්.ටී.ටී.ඊ. සංවිධානයට උපහාර පිණිස හෝ සහයෝගය දැක්වීමක් ලෙස පෙනී යන අයුරින් සකස් කර තම ටික්ටොක් ගිණුමට උඩුගත කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරු සහ ඔහු සතු ජංගම දුරකථනය අධිකරණය හමුවට පත් කිරීමෙන් අනතුරුව, එළඹෙන 17 වැනිදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සහ චාවකච්චේරිය පොලිස් මූලස්ථානය එක්ව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.