April 27, 2026

ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක භාණ්ඩාගාර ගනුදෙනුවකට අදාළ බව කියන සයිබර් ප්‍රහාරයෙන් දින පහක් ගතවී ඇතත්, අදාළ කරුණු තවමත් මහේස්ත්‍රාත් අධිකරණයකට වාර්තා කර නොමැති බව නිදහස් නීතිඥයෝ සංවිධානය ප්‍රකාශ කර තිබේ.

එම සංවිධානය තවදුරටත් කියා සිටියේ සේවය අත්හිටුවා ඇති නිලධාරීන්ගෙන් විමර්ශකයන් විසින් මේ දක්වා ප්‍රකාශ සටහන් කරගෙන නොමැති බවයි.

ඒ අනුව, ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය පැහැදිලි සහ විනිවිද පෙනෙන ප්‍රතිචාර ලබා දිය යුතු බව අවධාරණය කරමින්, එම සංවිධානය ජනාධිපති අනුර කුමාර දිසානායක සහ කැබිනට් මණ්ඩලය වෙත විවෘත ප්‍රශ්න 22ක් යොමු කර ඇත.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ නීතිඥ අතුල ද සිල්වා විසින් මෙම ප්‍රශ්නාවලිය යොමුකර තිබේ.

1. ජනරජයේ ජනාධිපතිතුමා, භාණ්ඩාගාරයේ ඩොලර් මි. 2.5ක් අස්ථානගතවී හෝ මංකොල්ලකෑමකට ලක්වී ඇති බව පිළිගන්නේ ද?
2. මේ සිද්ධිය සිදූවූ දිනය පිළිබඳ ජනාධිපතිවරයා ලෙස ඔබ වෙත කරුණු වාර්තා කර තිබුණේ ද?
3. 2025 සැප්. 6 හෝ ඒ ආසන්න දිනක ඔබතුමන් අමාත්‍ය ධුරය දරන මුදල් අමාත්‍යාංශයේ දත්ත පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබූ බව ජනාධිතිවරයා/මුදල් අමාත්‍යවරයා ලෙස දැන සිටියේ ද?
4. එම ප්‍රහාරය එල්ල වූ බව භාණ්ඩාගාර ලේකම් විසින් ඔබතුමන් සහ මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමන් දැනුවත් කර තිබුණා ද?
5. එම දැනුමත් කිරිම සිදුව තිබුණේ නම්, ඔබතුමන් මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමන් ඒ සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේ ද?
6. ඔබතුමන් ඩිජිටල් කටයුතු, මුදල්, ක්‍රම සම්පාදනය, ජාතික ආරක්ෂක විෂය සම්බන්ධයෙන් වන අමාත්‍යවරයා ලෙස මහා භාණ්ඩාගාරයේ සිදු වූ මංකොල්ලය පිළිබඳ වගකීම දැරිය යුතු බව පිළිගන්නේ ද?
7. එසේ නම්, ඔබ ජාතික ආරක්ෂාවේ මුලික විෂය පථයට අයත් අංශ හතරක් මේ වන විට බිඳවැටී ජාතික ආරක්ෂාව අනතුරට පත්ව ඇති බව පිළිගන්නේ ද?
8. භාණ්ඩාගාර ලේකම් ඔබතුමන් විසින් පත් කළ බව පිළිගන්නේ ද?
9. මුදල් ලේකම්වරයා ජනතා විමුක්ති පෙරමුණේ/මාලිමාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බව පිළිගන්නේ ද?
10. ඔහුට භාණ්ඩාගාරය හා මුදල් හා ක්‍රම සම්පාදනය සම්බන්ධයෙන් කිසිදු පුර්ව අත්දැකීමක් නොමැති බව පිළිගන්නේ ද?
11. ඔහු විසින් මේ වන විට මුලික විමර්ශනයට අදාළ පත්වීම් හා වාර්තා වෙනස් කරමින් මෙම ම‍ංකොල්ලයේ සාක්ෂි විනාශ කරමින් සිටින බව ඔබතුමන් දැනුවත්ව තිබේ ද?
12. මුදල් අමාත්‍යාංශ ලේකම් පත් කිරීමෙන් පසුව මෙම මංකොල්ලය සිදුවු බවත්, ඉන්පසුව මුල්‍ය අපරාධයක දී අනුගමනය කළ යුතු මුලික පරිපාලන ව්‍යවහාරයන් පවා ලේකම්වරයා විසින් පැහැරහැර ඇති බව ඔබතුමන් පිළිගන්නේ ද?
13. මෙම මංකොල්ලකෑම සිදුවූ දිනය හා එයට මහා භාණ්ඩාගාරයෙන් සම්බන්ධ වූ පුද්ගලයන් කවුරුන්ද යන්න ඔබතුමන් දන්නේ ද?
14. මේ සම්බන්ධයෙන් ඔබ විසින් පත් කරනු ලැබූ භාණ්ඩාගාරයේ ලේකම්, ඔබතුමන් දැනුවත් කරනු ලැබූයේ කවදාද?
15. ‍නිදහස් නීතිඥයෝ සංවිධානය විසින් කථානායකතුමන් දැනුවත් කිරීමට පෙර මේ පිළිබඳ ඔබතුමන් දැනුවත්වූයේ නම්, මේ පිළිබඳ ඔබ ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 148 ව්‍යවස්ථා ප්‍රකාරව පාර්ලිමේන්තුවට හෝ ජනතාව දැනුවත් නොකළේ මන්ද?
16. සෑම මසකටම දෙවරක් හෝ එයට වැඩි අවස්ථාව දී පාර්ලිමේන්තුව ඇමතීම සඳහා පැමිණෙන ඔබතුමන් මේ පිළිබඳ පාර්ලිමේන්තුවෙන් කරුණු වසන් කිරීම වරදක් බව පිළිගන්නේ ද?
17. මේ මංකෝල්ලය සම්බන්ධයෙන් ඔබ විසින් පත් කරනු ලැබූ භාණ්ඩාගාර ලේකම්තුමා, අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුවට හෝ ප‍ොලීසියට හෝ 2026 අප්‍රේල් 21 දිනට පෙර ( අපගේ හෙළිදරව්වට පෙර) පැමිණිලි කර තිබේ ද?
18. මේ පරිගණක අපරාධය පිළිබඳ පරිගණ අපරාධ හදිසි විමර්ශනය සඳහා ස්ථාපිත ආයතන වෙත පැමිණිලි කරනු ලැබූයේ කවදාද? කවුරුන් විසින්ද?
19. එසේ නොකර තිබුණා නම්, එය බලවත් වරදක් බව ඔබ පිළිගන්නවාද?
20. මේ තරම් අක්‍රමිකතා, අතපසුවීම්, වගකීම් විරහිත බව, වංක ලෙස කටයුතු කර තිබෙන මුදල් ලේකම්වරයා කෙරෙහි ඔබට තවදුරටත් විශ්වාසයක් පවතින්නේ ද?
21. මෙහු එම ධුරය දරණ තාක් කල් සාධාරණ විමර්ශනයක් සිදු කළ හැකි බව ජනාධිපතිතුමන්/මුදල් අමාත්‍යතුමන් ලෙස ඔබට විශ්වාසයක් පවතින්නේ ද?
22. හර්ෂණ සුරියප්පෙරුම නම් පුද්ගලයා වහා ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් ඉවත් කර නිසි විමර්ශයක් සිදු කිරීමට අවකාශය ඔබතුමන්ලා විසින් සලසා දෙන්නේ ද?