June 17, 2026

FIFA 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අඟහරුවාදා පැවති තරගවලදී සුපිරි දස්කම් දැක්වීමට ආර්ජන්ටිනාවේ ලියොනල් මෙසී සහ ප්‍රංශයේ කිලියන් එම්බාපේ සමත් වුණේ පාපන්දු වාර්තා ද අලුත් කරමිනි.

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවැති G කාණ්ඩයේ තරගයකින් ප්‍රබල ඉරානය සමඟ 2-2 ක් ලෙස සම තත්ත්වයෙන් තරගය නිමා කර ගැනීමට නවසීලන්තය සමත් විය. එලයිජා ජස්ට් නවසීලන්තය වෙනුවෙන් ගෝල දෙකම වාර්තා කළේය. ඉරානය අවස්ථා දෙකේ දීම පසුපසින් සිටිමින් තරගය සමකර ගැනීම විශේෂත්වයකි. පළමු අර්ධයේ මැද භාගයේදී ඉරානයේ රමීන් රේසායන් පළමු ගෝලය වාර්තා කළේය. මොහොමඩ් මොහෙබි 64 වැනි මිනිත්තුවේ දී හිසෙන් එල්ල කළ විශිෂ්ට ප්‍රහාරයකින් ඉරානයට නැවතත් සම ලකුණු හිමිකර දුන්නේය.

මේ වන විට G කාණ්ඩයේ සෑම කණ්ඩායමක්ම ප්‍රසාද ලකුණු 1 බැගින් ලබා සම තත්ත්වයේ පසුවේ.

නිව් ජර්සි හි පැවැති තරගයකින් අප්‍රිකානු ප්‍රබල සෙනගාල කණ්ඩායම 3-1 ක් ලෙස පරාජය කිරීමට ප්‍රංශය සමත් විය. මෙම තරගයේදී ප්‍රංශ නායක කිලියන් එම්බාපේ සුවිශේෂී ගෝල 2 ක් වාර්තා කරමින් ප්‍රංශ පාපන්දු ඉතිහාසයේ වැඩිම ගෝලලාභියා බවට පත්වෙමින් ඔලිවර් ජිරූඩ් ගෝල 57් ලබා තබා තිබූ වාර්තාව බිඳහෙළුවේය.

පළමු අර්ධයේදී සෙනගාලය ප්‍රංශයට දැඩි පීඩනයක් එල්ල කළ ද දෙවැනි අර්ධයේදී ප්‍රංශය තරගයට අවතීර්ණ විය. එම්බාපේ පළමු ගෝලය වාර්තා කළ අතර, පසුව බ්‍රැඩ්ලි බාර්කෝලා ප්‍රංශය වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කළේය. සෙනගාලයේ 18 හැවිරිදි ඊබ්‍රාහිම් ම්බායේ ලෝක කුසලාන ඉතිහාසයේ ළාබාලම අප්‍රිකානු ගෝලලාභියා වෙමින් ගෝලයක් වාර්තා කර ලකුණු තත්ත්වය 2-1 ක් කළ ද, තරගයේ අතිරේක කාලයේදී එම්බාපේ මීටර් 25ක පමණ දුරක සිට එල්ල කළ සුපිරි ගෝලයෙන් ප්‍රංශයේ ජයග්‍රහණය තහවුරු විය.

වසර 28කට පසු ලෝක කුසලාන වේදිකාවට පිවිසි නෝර්වේ කණ්ඩායම, බොස්ටන් ක්‍රීඩාංගණයේ පැවැති තරගයකින් ඉරාකය 4-1 ක් ලෙස පරාජය කිරීමට සමත් විය. මෙහිදී ලෝක කුසලාන මංගල තරගයට ක්‍රීඩා කළ 25 හැවිරිදි සුපිරි ක්‍රීඩක අර්ලින් හාර්ලන්ඩ් ගෝල 2 ක් වාර්තා කරමින් කැපීපෙනිණි.
තරගයේ 26 වැනි මිනිත්තුවේදී හාර්ලන්ඩ් නෝර්වේ පිලට පළමු ගෝලය ලබාදුන්නේය. කෙසේවෙතත් 39 වන මිනිත්තුවේදී ඉරාකයේ අයිමෙන් හුසේන්, හිසෙන් එල්ල කළ ප්‍රහාරයකින් තරගය 1-1 ක් ලෙස සම කළේය. ඉන් මිනිත්තු 4කට පසු ඉරාක ගෝල් රකින්නා සිදුකළ වරදකින් ප්‍රයෝජන ගත් හාර්ලන්ඩ් නැවතත් නෝර්වේ පිල ඉදිරියට ගෙනගියේය.

දෙවැනි අර්ධයේදී ලියෝ ඔස්ටිගාඩ් නෝර්වේ වෙනුවෙන් තෙවන ගෝලය වාර්තා කළ අතර, තරගයේ අවසන් මොහොතේ ඉරාක ක්‍රීඩක අයිමෙන් හුසේන් අතින් සිදුවූ Own Goal එකක් නිසා නෝර්වේ පිලට 4-1 ක විශිෂ්ට ජයක් හිමිවිය. මේ අතර ඉරාක ආදේශක ක්‍රීඩක සිදාන් ඉක්බාල් ලෝක කුසලාන ඉතිහාසයේ ක්‍රීඩා කළ පළමු පාකිස්තාන සම්භවයක් සහිත ක්‍රීඩකයා ලෙස ද වාර්තාවක් තැබීය.

වත්මන් ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායම 2026 ෆිෆා ලෝක කුසලාන තරගාවලියට ප්‍රබල ආරම්භයක් ලබාගනිමින් ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් විය. මෙම ඓතිහාසික ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූයේ සිය 200 වැනි අන්තර්ජාතික තරගයට ක්‍රීඩා කළ සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී ය.

කැන්සාස් සිටි ක්‍රීඩාංගණයේ පැවැති මෙම තීරණාත්මක J කාණ්ඩයේ තරගයේදී මෙසී සිය ලෝක කුසලාන ඉතිහාසයේ පළමු ගෝල ත්‍රිත්වය වාර්තා කිරීමට සමත් විය.

අට වතාවක් Ballon d’Or සම්මානය දිනූ 38 හැවිරිදි මෙසී, මෙම ගෝල ත්‍රිත්වයත් සමඟ ලෝක කුසලාන තරගාවලි ඉතිහාසය තුළ තමන් වාර්තා කළ මුළු ගෝල සංඛ්‍යාව 16 දක්වා ඉහළ නංවා ගත්තේය. ඒ අනුව ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝලලාභියා ලෙස ජර්මනියේ මිරොස්ලාව් ක්ලෝසෙ තබා තිබූ වාර්තාව සම කිරීමට ද මෙසීට හැකිවිය. මීට අමතරව ලෝක කුසලාන තරගාවලි 6ක් සඳහා ක්‍රීඩා කළ ලොව පළමු පාපන්දු ක්‍රීඩකයා ලෙස ද මෙසී මෙහිදී ඉතිහාසගත විය.

තරගයේ ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකම ඉතා වේගවත් ක්‍රීඩා විලාශයක් දියත් කළ අතර, තරගයේ 17 වැනි මිනිත්තුවේදී සිය ඉන්ටර් මියාමි කණ්ඩායමේ සගයෙකු වන රොඩ්රිගෝ ඩෙ පෝල් ලබාදුන් පන්දුවකින් මෙසී ආර්ජන්ටිනාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේය. ඔහු මෙම ප්‍රහාරය එල්ල කළේ ප්‍රංශ පාපන්දු පුරාවෘත්තයක් වන සිනඩින් සිදාන්ගේ පුත්‍රයා වන ඇල්ජීරියානු ගෝල් රකින ක්‍රීඩක ලූකා සිදාන් පරාජය කරමිනි.
තරගයේ 60 වැනි මිනිත්තුවේදී ලූකා සිදාන් අතින් සිදු වූ අත්වැරැද්දකින් ප්‍රයෝජන ගත් මෙසී, සමීප පරාසයක සිට සිය දෙවන ගෝලය වාර්තා කළේය. අනතුරුව 76 වැනි මිනිත්තුවේදී නිකොලස් ගොන්සාලෙස්ගෙන් ලැබුණු පන්දුවක් ගෝල සීමාවේ සිට දැල තුළට දරුණු ප්‍රහාරයකින් යොමුකරමින් මෙසී සිය විශිෂ්ට ගෝල ත්‍රිත්වය සම්පූර්ණ කළේය.

ලෝක කුසලාන ඉතිහාසයේ මීට පෙර ආර්ජන්ටිනාව ලෝක ශූරයන් ලෙස පැමිණි 1982 සහ 1990 වසරවලදී සිය මංගල තරගවලින්ම පරාජයට පත්ව තිබිණි. එහෙත් මෙසීගේ මෙම අසමසම ක්‍රීඩා විලාශය හේතුවෙන් වත්මන් ලෝක ශූරයන් ලෙස පැමිණි ආර්ජන්ටිනාවට මෙවර එම සාපයෙන් ගැලවෙන්නට හැකිවිය.