September 27, 2025

මෑතකදී පැවති සීමිත තරඟ විභාගයක් මත පදනම්ව සහකාර පොලිස් අධිකාරී (ASP) තනතුරට නිලධාරීන් 45 දෙනෙකු උසස් කිරීම අභියෝගයට ලක් කරමින්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 170 දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ගොනු කර තිබේ.

නීතිඥ මංජුල බාලසූරිය විසින් ගොනු කරන ලද පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, උසස්වීම් ලැබූ සහකාර පොලිස් අධිකාරීවරුන් සහ ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන් නම් කර ඇත.

සීමිත තරඟ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව සැප්තැම්බර් 25 වැනිදා පොලිස් පරීක්ෂකවරුන් 45 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කරන ලද බව පෙත්සම්කරුවන් කියා සිටී.

අසාමාන්‍ය ප්‍රමාදයකින් පසු ප්‍රතිඵල නිකුත් කරන ලද අතර, විභාගයේ ප්‍රශ්න පත්‍රයක් කාන්දු වී ඇති බවත්, එය හිතාමතා කළ එකක් බවටත් ඔවුන් තර්ක ඉදිරිපත් කර තිබේ.

බොහෝ දුරට සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස්වීම් දීමේ දී ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව ලබා දීම අතීතයේ දී සිදු වුවත් මෙම උසස්වීම් වටය වෘත්තීය සුදුසුකම් නොසළකා හැර අධ්‍යයන කාර්ය සාධනය මත පමණක් තීරණය කර ඇති බවත් පෙත්සම්වල තවදුරටත් සඳහන් වේ.

විභාගය පැවැත්වීමේදී අක්‍රමිකතා කිහිපයක් සිදුවී ඇති බවට ද පෙත්සම්කරුවන් චෝදනා කර ඇත.

ඒ අනුව, පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශයක් සහ විභාග ප්‍රතිඵල අවලංගු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.