July 20, 2026

කොළඹ, පිටකොටුව ප්‍රදේශයේ රෙදිපිළි ව්‍යාපාරිකයන් හයදෙනකුගෙන් රුපියල් මිලියන 160කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හොරණ හිටපු එක්සත් ජාතික පක්ෂ නගර සභා මන්ත්‍රීවරියක වන රේණුකා දමයන්ති නැමැත්තිය වත්තල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකාරිය ගිණුමේ මුදල් නොමැතිව චෙක්පත් ලබාදෙමින් මෙම ව්‍යාපාරිකයන් රවටා ඇති බව වාර්තා වේ. ඇය දීර්ඝ කාලයක සිට මෙම ව්‍යාපාරිකයන් මඟහරිමින් සිට ඇති අතර, ඊයේ (18) ඇය සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ සිටින බවට ලද තොරතුරක් මත අදාළ ව්‍යාපාරිකයන් පිරිස එම ස්ථානයට ගොස් ඇත.

එහිදී එම පරිශ්‍රය තුළ ව්‍යාපාරිකයන් සහ සැකකාරිය අතර දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර, මැදිහත් වූ මිරිහාන පොලිසිය සිද්ධියට සම්බන්ධ සියලුම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ.

මිරිහාන පොලිසිය සිදුකළ විමර්ශනවලදී ව්‍යාපාරිකයන් විසින් හිටපු මන්ත්‍රීවරියට එරෙහිව නිල වශයෙන් පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව මිරිහාන පොලිසිය විසින් වැඩිදුර ක්‍රියාමාර්ග සඳහා සැකකාරිය වත්තල පොලිසිය වෙත භාර දී ඇත.

අද (19) දින වත්තල වැඩබලන මහේස්ත්‍රාත් මෙරිල් බොතේජු වෙත ඉදිරිපත් කරන ලද සැකකාරිය, මෙම මස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.