March 3, 2026

කලාපීය ආතතීන් උත්සන්න වෙමින් පවතින පසුබිමක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් බැලස්ටික් මිසයිල නවයක්, කෲස් මිසයිල හයක් සහ ඩ්‍රෝන යානා 148ක් අද බිම හෙළූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.

අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉරාන ප්‍රහාර ඇරඹුණු දා සිට බැලස්ටික් මිසයිල 174ක් රට දෙසට පැමිණි බව හඳුනා ගැනුණු බවයි.

ඉන් 161ක් විනාශ වූ අතර 13ක් මුහුදට වැටී තිබේ.

ඩ්‍රෝන යානා 689ක් අනාවරණ කරගත් බවත්, ඒ අතරින් 645කට බාධා සිදුකළ බවත්, 44ක් භූමිය තුළට ගොඩ බැස්ස බවත් බලධාරීහු වාර්තා කළහ.

ඊට අමතරව, කෲස් මිසයිල අටක් හඳුනාගෙන විනාශ කර තිබේ.

මෙම ව්‍යර්ථ කිරීම් සිදුකිරීමේ දී සිවිල් දේපළ ගණනාවකට සුළු හා මධ්‍යස්ථ හානියක් සිදු වූ බව අමාත්‍යාංශය පැවසීය.

පුද්ගලයන් තිදෙනෙකු මිය ගිය අතර තවත් 68 දෙනෙකු සුළු තුවාල ලබා ඇත.

රටේ විවිධ ප්‍රදේශවලින් ඇසුණු ශබ්ද ගුවන් ආරක්ෂක පද්ධති බැලස්ටික් මිසයිලවලට බාධා කිරීම මෙන්ම ප්‍රහාරක ජෙට් යානා ඩ්‍රෝන යානා සහ කෲස් මිසයිලවලට බාධා කිරීම නිසා ඇති වූ බව එහි වැඩිදුරටත් සඳහන් විය.

බලපෑම් ඇති වූ ස්ථාන පිළිබඳ වැඩිදුර තොරතුරු එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සපයා නොමැත.