May 28, 2026

විදේශීය රටවල නිෂ්පාදිත රුපියල් මිලියන 27.3ක් පමණ වටිනා දුම්වැටි තොගයක් මෙරටට හොර රහසේ රැගෙන ඒමට උත්සාහ කළ චීන ජාතිකයන් 14 දෙනෙකු බණ්ඩාරනායක ගුවන් තොටුපොළේදී ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පිරිස මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට අද (28) අලුයම 1.30ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වී ඇත.

ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ පිහිටි, කිසිදු ප්‍රකාශයක් කිරීමට නොමැති මගීන් සඳහා වන විශේෂිත ‘හරිත මාවත’ ඔස්සේ කිසිදු රේගු ප්‍රකාශ කිරීමක් නොකර පිටව යෑමට උත්සාහ කිරීමේදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මොවුන්ව සැකපිට පරීක්ෂාවට ලක්කර තිබේ.

එහිදී සැකකරුවන් සතු ගමන් මලු 14ක් පරීක්ෂා කිරීමේදී, ඒවා තුළ සඟවා තිබූ චීනයේ නිෂ්පාදිත දුම්වැටි 138,200ක් අඩංගු කාටූන් 691ක් සොයා ගැනීමට රේගු නිලධාරීන්ට හැකි විය.

ශ්‍රී ලංකා රේගුව විසින් සැකකරුවන් සියලු දෙනාම රඳවා තබාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.