June 11, 2023

මාස 20කට වැඩි කාලයක් ඩියාගෝ ගාර්ෂියා දුපතේ රඳවා සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 12කට ආසන්න පිරිසක් සියදිවි නසා ගැනීමට තැත් කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

විවිධ හේතූන් මත මුහුදේ අතරමංව සිටි සංක්‍රමණිකයන් 89 දෙනකු ඉන්දියන් සාගරයේ පිහිටි බ්‍රිතාන්‍යයට අයත් මෙම දූපතේ භූමියේ මාස ගණනාවක් රඳවා සිටින බව බීබීසී ප්‍රකාශ කරයි.

කඳවුරේ පවතින දැඩි නීතිරීති සහ මුදවා හැරීමේ කාලය පිළිබඳ නිශ්චිත අදහසක් නොවීම හේතුවෙන් මෙලෙස පුද්ගලයන් සියදිවි නසාගැනීමට පෙළඹී ඇතැයි පැවැසේ.

ලන්ඩනයේ ගොනු කර ඇති අධිකරණ ලේඛන පෙන්වාදෙන ආකාරයට හමුදා නිලධාරීන් සඳහා කොවිඩ් හුදකලා පහසුකම් ලෙස කළින් පිහිටුවා ඇති කූඩාරම් තාවකාලික සංක්‍රමණික කඳවුරක් ලෙස භාවිත කරනු ලබයි.

කඳවුර වටකර වැට බැඳ ඇති අතර ඇතුළත මූලික වෛද්‍ය පහසුකම් සහ ආපන ශාලාවක් ඇත. සංක්‍රමණික කඳවුර ආරක්ෂා කිරීම සඳහා යොදවා ඇති පෞද්ගලික ආරක්ෂක සමාගම වන G4S හි ආරක්ෂකයන් එහි දැඩි රැකවලක් යොදවා ඇත.

අවම වශයෙන් එක් කාන්තාවක් ඩියාගෝ ගාර්ෂියාහි කඳවුරේදී තමා ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා කර තිබේ.

මේ නිසාම ඇය උපවසයක්ද ආරම්භ කර ඇති අතර, එම උපවාසයට එහි සිටින දරුවන්ද එක්ව ඇතැයි පැවැසේ.