July 26, 2026

හම්බන්තොට වරාය වෙත ආනයනය කර මේ දක්වා නිදහස් කරගෙන නොමැති වාහන 1,025ක් පමණ වෙන්දේසි කිරීමට හෝ ටෙන්ඩර් පටිපාටියක් හරහා විකිණීමට ශ්‍රී ලංකා රේගුව පියවර ගෙන තිබේ.

මෙම වාහන අතුරින් වාහන 625කට ආසන්න ප්‍රමාණයක් වරායට පැමිණ මාස හයකට වැඩි කාලයක් තිස්සේ ගොඩබා තිබෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා සඳහන් කළේය.

අදාළ වාහන සම්බන්ධයෙන් කිසිදු රේගු නීති උල්ලංඝනය කිරීමක් සිදුව නොමැති නමුත්, ආනයනකරුවන් විසින් ඒවා නිදහස් කරගැනීමට කටයුතු කර නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව, රේගු ආඥාපනතේ 129 වගන්තිය ප්‍රකාරව එම වාහන වෙන්දේසි කිරීමට හෝ ටෙන්ඩර් ක්‍රමවේදයට විකිණීමට පියවර ගන්නා බව හෙතෙම පැවසීය.

පනවා ඇති රේගු බදු සහ ගාස්තු ගෙවීමෙන් අනතුරුව මාසයක් ඇතුළත ආනයනික භාණ්ඩ නිදහස් කරගත යුතු අතර, එසේ නොකරන්නේ නම් අදාළ භාණ්ඩ ඉවත් කර රජයට අයවිය යුතු බදු මුදල් අයකර ගැනීමට රේගු ආඥාපනත මගින් ප්‍රතිපාදන සලසා ඇත.

වෙන්දේසියෙන් ලබන ආදායමෙන් රජයේ බදු මුදල් පියවීමෙන් පසු ඉතිරි වන මුදලින් වරාය සහ ගබඩා ගාස්තු ගෙවීමට පියවර ගන්නා අතර, ඉන්පසුවත් යම් මුදලක් ඉතිරි වන්නේ නම් එය අදාළ ආනයනකරු වෙත ලබාදෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

කෙසේවෙතත්, වාහන නිදහස් කරගැනීමට නොහැකි වූයේ මන්දැයි ආනයනකරුවකු විසින් සාධාරණ හේතු ඉදිරිපත් කරන්නේ නම්, ඒ පිළිබඳ වෙන් වෙන්ව සලකා බලා තීරණ ගැනීමට රේගුව සූදානම් බවද චන්දන පුංචිහේවා සඳහන් කළේය.