November 19, 2026

මෙරට දුම්රිය තැපැල් ජාලය වෙනුවෙන් සියවසක් පුරා සේවය සැපයූ ගාල්ල රාත්‍රී තැපැල් දුම්රිය, සිය 100 වැනි සංවත්සරය ඊයේ මධ්‍යම රාත්‍රියේ ගාල්ල දුම්රිය ස්ථානයේ පැවැති විශේෂ උත්සවයකදී සමරනු ලැබීය.

ගාල්ල ජංගම තැපැල් කාර්යාල දුම්රිය ඊයේ දිනයට සියවසක සේවා කාලයක් සම්පූර්ණ කරමින් මෙරට දුම්රිය තැපැල් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වන රාත්‍රී ජංගම තැපැල් කාර්යාල දුම්රියේ අවසන් ගමනාන්තය වන ගාල්ල දුම්රිය ස්ථානයේදී මෙම විශේෂ සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණි.

ගාල්ල තැපැල් කාර්යාලයේ සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම තැපැල් හා දුම්රිය සේවකයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර, සංවත්සරය වෙනුවෙන් සකස් කළ විශේෂ කේක් ගෙඩියක් කපමින් ඔවුහු මෙම අවස්ථාව සැමරූහ.

තැපැල් සේවාව වෙනුවෙන් මෙම දුම්රිය සියවසක් පුරා ලබා දුන් දායකත්වයත්, විශේෂයෙන්ම දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාව වෙනුවෙන් ඉටු කළ අඛණ්ඩ සේවාවත් මෙම සැමරුම් උත්සවයේදී ඇගයීමට ලක් විය.