March 19, 2024

අඩු ආදායම්ලාභීන් සඳහා සහල් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ඒ අනුව ව්‍යාප්තව සිටින පවුල් ලක්ෂ 27කට, එක් පවුලක් සඳහා මාසයකට නාඩු සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස දෙකක කාලයක් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඊට අදාළ කැබිනට් මණ්ඩල යෝජනාව පහතින දැක්වේ.

“2023 වසරේ මුල් භාගයේදී සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළුව දිස්ත්‍රික්ක 25හි පවුල් මිලියන 2.74ක පමණ ප්‍රමාණයක් ආවරණය වන පරිදි එක් පවුලක් සඳහා මාසයකට නාඩු සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස දෙකක කාලයක් සඳහා සහල් ලබා දීමට රජය විසින් පියවර ගන්නා ලදී.

හඳුනාගත් අඩු ආදායම්ලාභීන්ගේ පෝෂණ මට්ටම පවත්වාගෙන යාමට උපකාරයක් වශයෙන් මෙම වර්ෂයේදී ද එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බව පෙනී ගොස් ඇත.

ඒ අනුව, සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්හිමියන් සම්බන්ධ කර ගනිමින්, දිස්ත්‍රික් ලේකම්වරුන්/දිසාපතිවරුන් හරහා හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74ක් පමණ ආවරණය වන පරිදි එක් පවුලක් සඳහා මාසයකට සහල් කිලෝග්‍රෑම් 10ක් ලබාදීමේ වැසටහන මාස දෙකක කාලයක් ක්‍රියාත්මක කිරීම පිණිස ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.”