April 25, 2026

ව්‍යාපාරිකයෙකුගෙන් රු.15,000/- ක මුදලක් අල්ලසක් ලබාගත් කම්කරු නිලධාරියකුට කොළඹ මහාධිකරණය වසර 06ක සිර දඬුවම් නියම කර තිබේ.

හපුතලේ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ, කම්කරු නිලධාරියකු වූ අමුදමන ආරච්චිගේ නිමල් රෝහණ සෝමවර්ධන යන අය වැල්ලවාය, වීරසේකරගම ප්‍රදේශයේ පදිංචි කුකුල් ගොවිපළක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකුගෙන් රු.15,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, එය ලබාගැනීමේ දී අල්ලස් කොමිසම අත්අඩංගුවට ගෙන තිබිණි.

2009 සැප්තැම්බර් මස 02 දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද ලිඛිත පැමිණිල්ලකට අනුව, කරන ලද මෙහෙයුමකට අදාළව කොළඹ මහාධිකරණය ඉදිරියේ නඩු පවරනු ලැබූ අතර එම නඩුවේ තීන්දුව 2026.04.23 වැනිදා අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

ඉදිරිපත් කළ සියලු සාක්ෂි සළකා බැලීමෙන් පසුව විත්තිකරුට එරෙහි චෝදනා සනාථ වූ බව අධිකරණය විසින් තීරණය කර තිබිණි.

ඒ අනුව කොළඹ මහාධිකරණයේ අංක 06 අධිකරණයේ දී විභාග කෙරුණු නඩුවේ දී අමුදමන ආරච්චිගේ නිමල් රෝහණ සෝමවර්ධනට එරෙහිව ගෙන ආ චෝදනා තුනම සම්බන්ධයෙන් ඔහු වරදකරු බවට මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් විසින් තීන්දු කර ඇත.

ඒ අනුව, එක් එක් චෝදනාව සඳහා වසර 06 බැගින් සිරදඬුවම් (එකවර ගෙවී යන සේ) සහ එක් එක් චෝදනාවට රු. 5,000/- බැගින් දඩ මුදල් මෙන් ම අල්ලස් ලෙස ලබාගත් රු. 15,000/-ක මුදලට සමානව අමතර දණ්ඩන මුදලක් ද නියම කෙරිණි.

අල්ලස් කොමිෂන් සභාව වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂ ජනරාල් තනූජා බණ්ඩාර විසින් පැමිණිල්ල මෙහෙයවීම සිදු කරන ලදි.