May 20, 2023

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට පරිසර පද්ධතියට වූ හානිය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලබාගත හැකි වන්දි මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 30කට පමණක් සිමාවන බව ශ්‍රී ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව නොනිල වශයෙන් පිළිගෙන තිබේ.

ඒ, එක්ස්ප්‍රස් පර්ල් අනතුර සම්බන්ධයෙන් වන්දි ඉල්ලා මෙරට අධිකරණයේ නඩු පැවරුව ද ඒ සම්බන්ධව එංගලන්ත අධිකරණයෙන් ලබා දුන් වන්දි සීමාවට යටත්වීමට සිදුවන බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කිරීම හරහාය.

ඒ අනුව දැනට ශ්‍රී ලංකාව විසින් මෙම අනතුර සම්බන්ධයෙන් තක්සේරු කර ඇති ඩොලර් බිලියන 6.4ක අවම වන්දිය ශ්‍රී ලංකාවට කිසිසේත්ම ලබාගත නොහැකි තත්වයක් උද්ගතව තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුව සදහන් කර ඇත්තේ, සිංගප්පූරු අධිකරණයේ පැනවූ නඩුවට ද එම වන්දි සිමාව වලංගු වන බවයි.

ඒ අනුව, අදාළ වන්දි සීමා සම්බන්ධයෙන් එංගලන්තයේ ලන්ඩන් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද, නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මොකද්ද මේ එංගලන්ත අධිකරණ කතාව ?

මෙම සිදුවීමට අදාළව එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගම සහ රක්ෂණ සමාගම අතර නඩුවක් එංගලන්ත අධිකරණයක් හමුවේ ක්‍රියාත්මක වූ අතර, එහිදී වන්දි සීමාව පවුම් මිලියන 19ක්(අසන්න වශයෙන් ඩොලර් මිලියන 30ක්) ලෙස තීරණය විය. එහෙත් ශ්‍රී ලංකාව මෙම නඩුවේ පාර්ශ්වකරුවකු ලෙස ඉදිරිපත් වූයේ නැත. එමනිසා මේ වන විට එක්ස්ප්‍රස් පර්ල් අනතුරට අදාළව උපරිම වන්දි සීමාව ඩොලර් මිලියන් 30ක් ලෙස ප්‍රකාශ වී තිබේ. දැන් නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ එම වන්දි සීමාව සම්බන්ධයෙනි.

මේ සම්බන්ධයෙන් ceylonwire සමග අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකාවේ වගකිවයුතු ආයතන විසින් හිතාමතාම, මෙරටට හිමිවිය යුතු සැබෑ වන්දිය ලබාගැනීම මගහැරි බවයි.

“1996 අත්සන් කරලා තියෙන international convention on limitation of liability for maritime claims කියන ප්‍රඥප්තියට එංගලන්තය සහ සිංගප්පුරුව අත්සන් කරලා තියෙනවා. නමුත් ශ්‍රී ලංකාව අත්සන් කරලා නැහැ. නැව් සමාගම සහ රක්ෂණ ආයතනය අතර නඩුවේදී තීන්දු කෙරුණු පවුම් මිලියන දහනවයක වන්දිය අදාළ වෙන්නේ, ඒ ප්‍රඥප්තිය අත්සන් කරපු රටවල් දෙකට විතරයි. ශ්‍රී ලංකාවට අදාළ නැහැ. හැබැයි ශ්‍රී ලංකාවේ මේ නඩුව පවරන්න නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කළේ නැහැ. ලංකාවේ නඩු පවරලා තීන්දුවක් ලැබුණා නම්, එතැනදී ප්‍රකාශ වෙන වන්දිය එංගලන්තෙ නඩු තීන්දුවට අදාළ වෙන්නේ නැහැ. හැබැයි ලංකාවේ බලධාරීන් හිතාමතාම ඒ අවස්ථාව මගහැරියා.” යැයි පුබුදු ජයගොඩ වැඩිදුරටත් පෙන්වා දුන්නේය.