November 9, 2026

නොවැම්බර් 3 සිට 6 දක්වා පොඩ්ගෝරිකා හි පැවැත්වුණු ‘WTT Youth Contender Montenegro 2026’ මේස පන්දු තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකාවේ නැගී එන මේස පන්දු ක්‍රීඩක තාවී සමරවීර රන් පදක්කම් දෙකක් දිනාගැනීමට සමත් වී ඇත.

ඔහු වයස අවුරුදු 11 න් පහළ සහ 13 න් පහළ පිරිමි තනි තරග අංශ දෙකෙහිම ශූරතාවලිය දිනා ගත් අතර, තනි WTT Youth Contender තරගාවලියකදී රන් පදක්කම් දෙකක් දිනාගත් පළමු ශ්‍රී ලාංකික මේස පන්දු ක්‍රීඩකයා ලෙසද වාර්තා අතරට එක්විය.

වයස අවුරුදු 11 න් පහළ අවසන් මහා තරගයේදී තාවී විසින් සිංගප්පූරුවේ ෂැං බෝයැං (Zhang Boyang) වට 3-0 ක් ලෙස පරාජයට පත්කරමින් තරගාවලියේ ඔහුගේ පළමු රන් පදක්කම දිනාගෙන තිබේ.

වයස අවුරුදු 13 න් පහළ අංශයෙන්ද විශිෂ්ට දක්ෂතාවයක් දැක්වූ ඔහු, තමාට වඩා වයසින් වැඩි ක්‍රීඩකයින් සමග තරග වදිමින් අවසන් මහා තරගයේදී මොන්ටෙනේග්‍රෝ හි මිලාන් වුචෙටික් (Milan Vučetić) වට 3-1 ක් ලෙස පරාජය කරමින් සිය දෙවැනි රන් පදක්කමද දිනාගෙන ඇත.

අවුරුදු 13 න් පහළ ශූරතාව දක්වා වූ ඔහුගේ මෙම තරග සංචාරයේදී සිංගප්පූරුව, කසකස්ථානය සහ ස්ලෝවැකියාව යන රටවල තරගකරුවන් පරාජය කිරීමට ඔහුට හැකිවිය.