November 9, 2026

සුප්‍රකට ‘අග්බෝ’ හස්තියා ගැවසෙන ප්‍රදේශයේ බඩඉරිඟු හේනක් ආසන්නයේ නීතිවිරෝධී ලෙස සවි කර තිබූ බඳින තුවක්කුවක් සොයාගෙන අක්‍රිය කිරීමට වනජීවී නිලධාරීන් සමත්ව තිබේ.

මෙම හස්තියාගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වන සෙවීම් මෙහෙයුම් අතරතුරදී, තිරප්පනේ වනජීවී කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉකුත් සෙනසුරාදා සිදු කරන ලද මුර සංචාරයකදී මෙම අන්තරායකර උගුල සොයාගෙන ඇත.

එහිදී මිහින්තලේ ප්‍රදේශයේ නොච්චිකුලම වැව ආසන්නයේ වූ බඩඉරිඟු වගාවක් අසල අග්බෝ ගැවසෙමින් සිටිනු වනජීවී නිලධාරීන් විසින් නිරීක්ෂණය කර තිබේ. පසුව එම පරිශ්‍රය පරීක්ෂා කිරීමේදී, එක් වනජීවී නිලධාරියෙකුගේ කකුලක බඳින තුවක්කුවකට සම්බන්ධ කර තිබූ ඇදිනූලක් ගැටී ඇති අතර, වහා ක්‍රියාත්මක වූ නිලධාරීන් අදාළ අනතුරුදායක මෙවලම ආරක්ෂිතව අක්‍රිය කිරීමට කටයුතු කර ඇත.

පසුව ඊයේ සිදු කළ වැඩිදුර සෙවීම්වලදී, අසල පිහිටි වගාබිමක තිබූ පැලක් තුළ තිබී බඳින තුවක්කු සවි කිරීම සඳහා යොදාගන්නා මෙවලම් රැසක් වනජීවී නිලධාරීන් භාරයට ගෙන තිබේ. එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු සිදුවීමට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

වන අලින්ගෙන් බඩඉරිඟු වගාව ආරක්ෂා කරගැනීමේ අරමුණින් අඩියක් පමණ උසින් අලින් ඉලක්ක කර මෙම බඳින තුවක්කුව සවි කළ බව සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පිළිගෙන ඇති බව වනජීවී නිලධාරීහු පවසති.

අත්අඩංගුවට ගත් සැකකරු සහ නඩු භාණ්ඩ අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.