July 18, 2025

බූස්ස බන්ධනාගාරයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් ඉවත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සමක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය අද සිය නියෝගය සැප්තැම්බර් 1 වන දින දක්වා කල්තැබීය.

මෙම පෙත්සම ගොනුකර ඇත්තේ පාතාල චරිතයක් යැයි කියන ජේ.ඒ. රුවන් කුමාර නොහොත් මිදිගම රුවන් විසිනි.

මෙම නඩුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග විය.

පෙත්සම්කරුගේ නීතිඥවරයා තර්ක කළේ බූස්ස බන්ධනාගාරය නම්කරන ලද අධි ආරක්ෂිත ස්ථානයක් බවත්, අභ්‍යන්තර හා බාහිර ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අඛණ්ඩව යෙදවීම පිළිබඳව ප්‍රශ්නගත බවත්ය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න පෙත්සමට විරුද්ධ විය.

පෙත්සම්කරු පිරිසිදු දෑතින් අධිකරණයට පැමිණ නොමැති බවත්, අධිකරණ මැදිහත්වීම සඳහා නීතිමය පදනමක් නොමැති බවත් ඔහු තර්ක කළේය.