August 4, 2025

නීතිය උල්ලංඝණය කරන්නේ නම් පමණක් මිස තර්ජනයක් එල්ල නොවන කිසිදු විදේශීය ජාතිකයකුගේ පැමිණීම විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු තත්වයක් නොවන බව පොලිසිය පවසයි.

ආරුගම්බේ ප්‍රදේශයට පැමිණෙන ඊශ්‍රායල සංචාරකයන් සංඛ්‍යාව ඉහළ යෑම සහ ඔවුන් නිරතව සිටින ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් පසුගිය කාලයේ එල්ල වූ විවේචන හමුවේ පොලීසිය මේ බව පවසයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ.වූට්ලර් පැවසුවේ, රට පිළිබඳ විශේෂයෙන් නොසලකා ශ්‍රී ලංකාව සියලුම සංචාරකයන් සාදරයෙන් පිළිගන්නා බවයි.

ශ්‍රී ලංකාව විදේශිකයන් සංචාර සඳහා සොයන ගමනාන්තයක් වීම ගැන ආඩම්බර විය යුතු බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වාදුන්නේ, ආරුගම් බොක්ක හෝ වෙනත් ප්‍රදේශයක් හෝ විදේශීය සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට තෝරාගැනීම රටේ සංවර්ධනය සඳහා ධනාත්මක සලකුණක් ලෙස සැලකිය යුතු බවයි.

එබැවින් ආරුගම්බේ ප්‍රදේශයට පැමිණෙන ඊශ්‍රායල ජාතිකයන් සංඛ්‍යාව ඉහළ යෑම ගැටලුවක් නොවන බවත්, මෙරටට පැමිණෙන ඊශ්‍රායල ජාතිකයන්ට, පලස්තීනුවන්ට හෝ වෙනත් ඕනෑම ජාතිකයකුට මෙරට සුන්දරත්වය භුක්ති විඳීමට ඉඩදිය යුතු බවත්, ශ්‍රී ලාංකිකයන් රට ගැන ආඩම්බර විය යුතු බවත්, විදේශීය ජාතිකයන් සංචාරය කරන්නේ නම්, එය ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය සඳහා හේතුවක් බවත් ඔහු සඳහන් කළේය.

එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ එවැනි තත්ත්වයක් ගැටලුවක් ලෙස සලකන්නේ ඇයිදැයි තමන්ට නොවැටහෙන බවයි.

පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ඕනෑම තර්ජනයක් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බැවින් කිසියම් බාධාවක් ඇති වුවහොත් කඩිනමින් ක්‍රියා කරන බවත් ඔහු සහතික විය.

කෙසේවෙතත්, අන්තර්ජාතික DJ ශිල්පියකු වන ටොම් මොනාගල් ශ්‍රී ලංකාවේ ආරුගම් බොක්කෙහි ඊශ්‍රායල ජාතිකයන් ගැවසීම සහ ඔවුන්ගේ ව්‍යාපාර වැඩිවෙමින් පැවතීම පිළිබඳව පසුගියදා කනස්සල්ල පළකර තිබිණි.

“මම හිතුවේ ආරුගම් බොක්ක තියෙන්නේ ශ්‍රී ලංකාව කියලා. ඒත් ඒක ඊශ්‍රායලයේ ටෙල් අවිව්වල තියෙනවා වගේ ” යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් ඇති වීඩියෝවක ඔහු පවසයි.